Friday, March 11, 2011

ඒක මුන් දන්නෑ.

හරමානිස්ගේ කොල්ලා එහා ගමේ කෙල්ලකගේ අතින් අල්ලාගෙන ඉදල ඉස්කෝලෙ මහත්තයට අසු වී ගුටි කා තිබීම ඌට අහල ගම් හතකින්වත් හිරයක් ගැනීමට නොහැකි තරමේ අපරාධයකි. ඌ අසික්කිතය. නොහොඹිනාය. ගෑණු පුලුටක් තියෙන ගෙයක් දොරක් හතර මායිමේ ඌ වැද්ද නොගනී. ඒත් ඉතින් අර කුමාරසිංහ රත්තරං නෝනො දැන් කොච්චර වයසක් ද? ඉටි රූපෙ වාගේ ලස්සන. ඒ නොනා ඕන ඕන විදියට රෙද්ද ගලවනව කියල රටම දන්නවනෙ. අර අහවල් රටේ ලොකු ඇමැතිතුමා එක්ක නිදිවදිනව කියල අපේ රටේ එවුනුත් දන්නවනෙ? ඒත් උන්දැගෙ සීදේවිකම ගැනමයිනෙ කතාව. උන්දැ ස්ටේජ් නගින්නෙ බීල කියලනෙ සමහරු කියන්නෙ. අනේ ඉතින් ඒව මෙකනෙන් අහල අනිත් කනෙන් පිට කරල අම්මල ආත්තම්මල එහෙම හති දාගෙන දුවල ගිහිං ඡන්දෙ දුන්නෙ.
ඉස්සර අපේ ගමේ කෙහෙල් කැනක් එහෙම හොරු කැපුවහම කපපු එකාගේ අම්ම බැනුම් අහනව නෙමෙයි මැරිල නම් වලෙන් නැගිටල එන තරමට දෙස් අහනව. සොහොනටත් හෙණ ගහන්න කියල තමයි දෙස් දෙවොල් තියන්නෙ. ඒ විතරක්ය? කීය ගියත් කමක් නෑ කියල ගැටබරු ගිහින් මිරිස් අඹරනව පවුල් පිටින් හැදි ගෑවෙන්න. ඒත් ඉතිං රජ පවුලයි උන්ගෙ කටු කන හැත්තයි රෙදි නැතුව රටම හොරා කනව කියල කිරි සප්පයගෙ ඉදල දන්නවනෙ. ඒත් ඉතිං උන්නාන්සෙල එහෙම කොරාම මක්කැයි ඔතනට එන කොයි එකත් එහෙම තමයි. යූ එන් පී කාලෙ ගමේ ඉන්න යූ ඇන් පී පරයො ජනසවියෙන් කාපු කෑම! ඉතිං අපේ උන්නාන්සෙල පොඩ්ඩක් කෑවහම මොකො?
ගමේ ඉස්කොලෙවල යන සිපයියො ගන්න දෙයක් නෑ. හැදියාව බින්දුවයි. මහ ගොඩේ ගොරකයො විදියට තමයි වාසෙ දේසෙ හැදෙන්නෙ. එහෙම කියල අපේ කුඩප්පාගෙ කොල්ලත් ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දාන්න මේ දවස්වල මහඋන් පුදුම විදියට වලිකනව. සේසතම උකස් කරල හරි කොල්ල ඉස්කොලෙට දානව කියල තමයි අපේ බාලම්ම මං එහෙ ගිය වෙලාවෙ මගෙත් එක්ක පම්පොරියට වගෙ කිව්වෙ. ඒකනෙ ලොකු ඉස්කොලෙකම යන්න ඕන කොල්ල හැදෙන්න. ලංකාවේ ලොකු ඉස්කොලවල ඉගන ගන්න පුත්තු ඉගන ගත්තු පුත්තු රත්තරං. අර කොහේදෝ රටක අගනුවර තියන රෝයල් ද මොකක්ද කියල ලොකු ඉස්කෝලෙක නම් දැන් අවුරුදු ගාණකට කලින් ආදිශිෂ්‍ය උත්සවයක ආපු ලොකු මිනිස්සු විදියට ඉස්කොලෙන් එලියට ආපු මහත්තොරු වගයක් කෙල්ලො තුන් දෙනෙක්ගෙ රෙදි ගලවල අමු හෙලුවෙන් කණුවක නග්ගල කොඩියක් ගැලෙව්ව කියල කතාවක් තිබුණ. අපේ රටේ නම් එහෙම නෑ. අනිත් එක අපේ ලොකු ඉස්කො‍ලවල බිග් මැච් ‍කාලෙට වුණත් මහලොකු ජරා වැඩ වෙන්නෙ නෑනෙ ගමේ උන් රා බොනව වගෙ. පොඩියට විස්කි බෝතලයක් වගේ එකක් කඩල ආතල් එකක් අරගෙන රෙස්ප බඩුවක් සල්ලිවලට අරන් පොලිමක් දානව ඇරෙන්න( කොන්ඩම් දාගෙන ඒ වුණාට).
ආන්ඩුවෙ කැමිපස්වල ඉගන ගන්න උන් නම් අජූතයි. ආතක් පාතක් නැති උන් යන්තම් විභාගෙ පාස් කරල මේවට ඇවිත් රැග් කරල පොර වෙල ලොකු ලොකු උන්නාන්සෙලාටත් ඇටෑක් එකටයි කතාව. ඒකට ප්‍රයිවට් කැම්පස්. රට හොරු අරන් ගියත් සද්ද නැතුව ගාන ගෙවල ෂේප් එකේ ඉන්නව. උන් පොඩ්ඩක් රැග් එක දීල ආතල් එකක් ගත්තත් වැරැද්දක් නෑනෙ. ලොකු මිනිස්සුන්ගෙ රජ පැටව්නෙ.
අපෝ බීච් එකක් පැත්ත පලාතක යන්න බෑ අසමජ්ජාති කොල්ලො කෙල්ලො හු....... නැති එක විතරයි. ඒකත් කරනව ද දන්නෙ නෑ. ඕකුනව ඇදගෙන ගිහිං කූඩු කරන එකමයි හරි. කාලකණ්ණි! ඒත් ඉතිං ලොකු හොටෙල්වල ජීන මැඩම්ල වගෙ අය හිටියට කමක් නෑනෙ. ඒවට එන්න රට කරවන ඈයො නෙ. අනිත් එක ලව් කොරල අහුවෙන උන්ගෙ මහ උන් වත් එන්නෙ නෑ උන්ව බේර ගන්න. ජීන මැඩම්ල වෙනුවෙන් ඒ සරත් නොවෙන මේ සරත් සභාපතිතුමා වගේ දෑ හිතකාමී දේශප්‍රේමියොවත් ඉන්නව.
අල්ලපු ගෙදර ගෑණි තරුණ කොල්ලො එක්ක ඕනවට වැඩියි කියල ගමම කතාවෙනව. ඒනිසා ඒකි‍ අල්ලල නොකියන කුණුහරුපයක් නෑ. මහවල් ගෑණු! අර අනර්කලී නෝනල ඇග මහත යෝධය වගේ සිල්ව මහත්තයල කරන කියන දේවල් මේ ගොඩේ ගෑණුන්ට පුලුවන්යැ. අහවල් එක විතරක් තිබුණ කියල ඒව කොරන්න බෑ කියල මුන් දන්නෙ නෑ. අන්කලී නෝනල නම් ඡන්දෙ වුණත් ඉල්ලල දිනනව! ඒක මුන් දන්නෑ.

Saturday, March 5, 2011

නොවැසුනු සරසවියක් අඛණ්ඩ අධ්‍යාපනයක්

මෙලෙස ලියවී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආපන ශාලාවේය. මා මෙම ලිපිය තුළින් අවධානය යොමු කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම පීඨය පිළිබදව නොවුණත් කොළඹ විශ්ව විද්‍යාලය තුළ පැල පදියම් වී ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ ස්වරූපය පිළිබද ඉතාමත් පැහැදිලි පිළිඹිබුවක් ලබා දීමට මෙම පාඨය සමත් ය. මෙම මෙලෙස අභිමානවත්ව ආපන ශාලා බිත්තියේ ලියා තිබුණෙ එක්තරා ශිෂ්‍ය සංවිධානයක් මගින් ය. පසුව මා දැනගත් ආකාරයට වර්තමානයේ බලවත් වන්නේ මෙම ශිෂ්‍ය සංවිධානය යි. පරිපාලනයට අවශ්‍ය ආකාරයේ සුවච කීකරු දරු පිරිසක් නිර්මාණය කිරීම‍ට වසර 15ක 20 පමණ සිට එකී පරිපාලනය දැරූ උත්සාහය මේ වන විට මල් ඵල දරා ඇති බවට මේ පාඨයම සාක්ෂි සපයයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවන දෑ බොහොමයක් පිළිබද මා දැනුවත් වන්නේ මගේ බෝඩිම් සගයා එහි ශිෂ්‍යයෙකු වීම නිසාය. සියුම් ඇසකින් සිදුවන දේ දෙස බලන ඒ පිළිබද ගැඹුරින් විශ්ලේෂණය කරන මගේ මිත්‍රයා මා සමග සිය පීඨයේ සිදුවන සිදුවීම් පිළිබද මෙතෙක් කල් පැවසූ කාරණා ඇසුරින් ලිපියක් ලියන්නට මම සිතීමි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නිළවරණ පැවැත් වෙන්නේ නැති තරම් ය. උදාහරණයක් ලෙස ශාස්ත්‍ර පීඨය සදහා වසර ගණනාවකින් නිළවරණයක් කැදවා නැත. නමුත් මාගේ මිත්‍රයා ඉගනුම ලබන පීඨය සදහා පසුගිය වසර තෙක් ශිෂ්‍ය නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව දී ඇත. නමුත් මේ වසර සදහා අධ්‍යන වර්ෂය අවසන් වීමට ද ආසන්න නමුත් නිළවරණ කැදවා නැත.
ශිෂ්‍ය නිළවරණ කැදවූවත් වර්තමානය වන විට පිරිසක් එකතු කර ගත හැකි ක්‍රියාකාරිකව නැගී සිටිය හැකි ශිෂ්‍ය එකතුවක් අද වන විට එහි ඉතුරු වී නැත. මා මිත්‍රයාට අනුව පසුගිය දා එම පීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙකුගේ මෑණියක අභාවප්‍රප්ත වී ඇති අතර එහි ගොස් තිබුණෙ කිහිපදෙනෙකු පමණි. මරණයකටවත් නැති තරමට මේ පීඨය තුළ ආත්මාර්ථකාමී සිසුන් පිරිසක් බවට බිහිව ඇත. වර්තමානයේ සම්පූර්ණයෙන්ම පරිපාලනයට පාලනය කරගත හැකි සිසුන් පිරිසක් බිහිකර ගැනිමට මෙම පීඨයේ පරිපාලනය සමත් ව ඇති අතර වසරකට මෙම පීඨය තුළ සංවිධානය වන ක්‍රියාකාරකම් ප්‍රමාණය අතිශය සීමිත ය. මා මිත්‍රයාට අනුව බොධි පූජාවක් පැවැත් වීමටත් අවසර ගැනීම ටිකක් මහන්සි වී කර ගත යුත්තකි. නවක අභිනන්දන උළෙලක් වැන්නක් සංවිධානයේ දී අපහසු ම හා බැරෑරුම් ම කාර්යය ඒ සදහා අවසර ලබා ගැනීමයි. මෙය පරිපාලනයේ උපක්‍රමශීලි පාලනයයි. ඒ මන්ද යත් මෙලෙස ක්‍රියාවලිය සංකීර්ණ වන විට ඉගන ගන්න උන් වැඩි වැඩ කරන්නට එකතු වෙන්නේ නැත.
මෙම පීඨයේ ශිෂ්‍ය දේශපාලනය ඉතාමත් විහිළු සහගත එකකි. පෙර මෙම පීඨය තුල ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් පැවත ඇති නමුත් ක්‍රමයෙන් පරිපාලනය විසින් තමන්ට අකීකරු ශිෂ්‍ය කණ්ඩායමේ පැවැත්ම විනාශ කර දමා ඇත. අද වන විට ඉතිරිව ඇත්තේ එදා එලෙස මරා ගෙන මැරෙන සටන සදහා පරිපාලනය විසින් බිහි කළ ශිෂ්‍ය කල්ලියෙන් පැවතෙන පරම්පරාවක් පමණි. නොඑසේ නම් අද වන විට // පුරවර පින් බිමේ බේද නැත නොයෙක් පෙදෙසේ සබද නුඹ නිදහස්// තත්ත්වයට මෙම පීඨය පත් කර ඇත.
මෙලෙස ජෙප්පන්ගෙන් නිදහස් වූ ශිෂ්‍ය සංවිධානයේ නායකත්වය හිමි වන්නේ සෑම වසරකම එහි තෙවන වසරටය. ඒ අනුව ප්‍රතිපත්තියක් අයිතියක් දිනා ගැනීමට උවමනාවක් සහ හැකියාවක් නැති නපුංසක වූ මෙම ශිෂ්‍ය කණ්ඩායමේ තෙවන වසරට හැම දාම ඇති එකම ගැටළුව සභාපති වන්නේ කවුද යන්නයි. ඒ අනුව කා කොටා ගෙන බෙලි කපා ගෙන හෝ අත උස්සා අනේ මට සභාපති වෙන්න ඕන කියා ගෙන හෝ සභාපති වීමට දගලයි. ඒ තුළ සභාපති පමණයක් සිටින යූනියන් බිහිවේ. ඒ අනුව සභාපති පරිපාලනය ළග දණින් වැටී අලුතින් පීඨයට එන පුංචි උන් ළග වීරයෙකු වෙයි. මේ විකට සංදර්ශනය  මෙම පීඨයේ ඇති ශිෂ්‍ය දේශපාලනයයි.
තවද මෙම පීඨයේ ශිෂ්‍ය දේශපාලනයේ තවත් අංශයක් ඇත. එනම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කඩේ යෑමයි. ඒ අනුව සිරිකොතට මෙන්ම නාමල් ළගට ද බඩ ගා මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සන්තර්පණය වේ. මෙය අන්තරය නැති වීමෙන්, ජෙප්පන් එළවීමෙන් පසු ඇතිවන තත්ත්වයි. ටික දිනකින් ජපුර ඔබට වන්නේද මෙයම ය.ලිපිය අවසන් කිරීමට පෙර මා මිත්‍රයා ඉදිරියේ මෙම පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුට පීඨයේ පරිපාලනය සම්බන්ධ විශාල බලයක් ඇති කතිකාචාර්ය වරයෙකු වරක් කළ ප්‍රකාශයක් සදහන් කිරීම‍ට කැමැත්තෙමි.
කතිකාචාර්ය: එරංග!! ඔයා මේකෙ ශිෂ්‍ය නායකය *විදියට ළමයි ලෙක්චර්ස් එවන්න දැන ගන්න ඕන
සභාපතිතුමා: එහෙමයි මැඩම්


(* ඉස්සර අපේ ඉස්කොලෙ හෙඩ් ප්‍රිපෙට් ට ප්‍රින්සිපල් සර් අවවාද කරනව මේ විදියට)

Thursday, March 3, 2011

වන්දි බටිටයන් වෙත,

බ්ලොග් යනු ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ඉතාමත්ම අල්ප ලෙස ප්‍රචලිතව ඇති මාධ්‍යයක් බව අවිවාදිතය. නමුත් ඉතාමත් නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සිතැගි ලෙස ලබා දීම තුළ බ්ලොග් ප්‍රජාතන්ත්‍රීය සමාජයකට අත්‍යවශ්‍ය පන්නරය සහ මුවහත ලබා දීමට තරම් විභවතාවයක් සහිත වීම බ්ලොග් වටා දිනෙන් දින පාඨකයන් ඒකරාශී වීමට ඇති එකම හේතුවයි.
නමුත් පසුගිය සමය පුරාවට මා දුටු බොහෝ බ්ලොග් රචකයන් පවතින රජය විවේචනය කිරීම සිදු කිරීම තුළ බ්ලොග් යනු ආණ්ඩු විරෝධී ක්‍රමන්ත්‍රණ කාරයන්ගේ නවතම උපක්‍රමය බවට ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති තුළින් ඉතාම නුදුරේ දීම අසන්නට ලැබෙන බවට වන උපකල්පනයේ සිටියෙමි. විශේෂයෙන්ම පසුගිය සමයේ ඊජිප්තුව ඇතුළු රටවල ඇති වූ කැළබීම් සදහා සමාජ ජාල හේතු සාධක වූ බවට පැතුරුණු ආරංචි මාගේ එම නිගමනය තවතවත් බලවත් කළේ ය. ඒ අනුව බ්ලොග් යනු අධිරාජ්‍යවාදීන්ගේ දුෂ්ඨ කුමන්ත්‍රණයක නවතම මුහුණ බව විමල් වීරවංශ ඇමතිතුමා කොහේ හෝ රැස්වීමකදී ප්‍රකාශ කරනු ඇති බවත් එම කුමන්ත්‍රණය පැරදීම සදහා බ්ලොග් තහනම් කළ යුතු බවට තමා ඉල්ලන බවටත් කෙරෙන අවධාරණය ද මම අපේක්ෂා ‍කළෙමි.
නමුත්  වර්තමානය වන විට බ්ලොග් සින්ඩිවල පිටු පිරෙන්නට ආණ්ඩුවේ වන්දි බට්ට ලියන්නන් ලියනු දැකීමෙන් මා තුළ ඒ පිළිබද වූ බිය තරමක් සියුම් කිරීමට සමත්ව ඇත. වන්දි බට්ටයෙනි ඔබ ගයන්න!!! අප එය අසමි. විරුද්ධ මත ගැටෙන බිමක සවිඥානික ජනතාවක් කවදා හෝ බිහි කිරීමට එය ඉවහල් වනු ඇත. එය මේ සියවසේ අප ජීවත්ව සිටියේදී නොවුණත් දුර අනාගතයක දී හෝ මේ බිමේ මුල් අදින්නට මා පතන ප්‍රජාතන්ත්‍රවාදී සවිඥානික සමාජයට මල් පාවඩ එලනු ඇත.