Sunday, October 16, 2011

එකෙකුගේ මිය යෑම........


භාරත ලක්ෂ්මන් ප්‍රේමජයන්ත මරා දැමූ බවත් එයට දුමින්ද සිල්වා නැමති ආරක්ෂක අමාත්‍යයංශයේ අධීක්ෂණ මන්ත්‍රී වරයා වගකිව යුතු බවත් මෙරට පොලීසිය නොදන්නා මෙරට නීතිය නොදකිනා නමුත් සියලු මිනිසුන් සක් සුදක් සේ දන්නා ඇත්තයි. භාරත යනු ඉතාමත් යහපත් යහපාලනය වෙනුවෙන් කැප වූ දේශපාලන‍ඥයෙකු නොවන අතර ඔහුද දුමින්ද සිල්වා නියෝජනය කරන කුලකයේම නියෝජනයකි. එහිදි දෙනා වෙනස් වන්නේ එකම අංග ලක්ෂණ අඩු වැඩි වශයෙන් පිහිටීම නිසා පමණි. වෙනත් වචනවලින් කියනවා නම් දුමින්ද සිල්වා මෙන් නිළියන් සම්බන්ධ අවුල්වලට එළිපිට පැටලීම වැනි කුජිත වීම් භාරත අතින් එළිපිට නොවීම පමණි. පාතල භාවිතයද ඒ ආකාරයෙන් අඩු වැඩි වේ. නමුත් භාරත මරා දැමු මිනිමරුවා නීතිය හමුවට පැමිණ විය යුත්තේ නීතියේ පාරිශුද්ධ ලෙස ලිය වී ඇත්තේ  මිනිසෙකු  මරා දැමීම දරුණුම අපරාධය ලෙස වීමයි. අද වන විට හමුදා රැකවල් මැද රටම දන්නා ප්‍රධාන සැකකරුවා ජයවර්ධනපුර රෝහලහි ප්‍රතිකාර ගනිමින් සිටී. මෙය මෙරට නීතියේ භූමිකාම දරුණුම ලෙස ප්‍රශ්න ගත වීමකි. මෙරට දේශපාලනයේ විලිලැජ්ජා විරහිත යථාර්ථය මහමග විදි බැසීමයි. මෙකි කාරණා තුල ඇත්තටම මෙම ප්‍රධාන සැක කරුවාට වෙඩි වැදිමක් වී ඇත්ද යන්න පවා ප්‍රශ්නයක් වීම සහේතුකව සාධාරණ කාරණයකි. ඒ මන්ද යත් දැනට ප්‍රකාශ වන පරිදි හිසට වෙඩි වැදුනු අසාධ්‍ය රෝගියෙකු එකවරම ජයවර්ධනපුර රෝහලටම ගෙන ගියේ මන්ද??? එය එසේ වූයේ නම් එය කොතරම් අමන ක්‍රියාවක්ද? ආසන්නයේ තිබෙන රෝහලකින් මූලික ප්‍රතිකාරයක් කිරීම කළ යුත්ත නොවේද??
මෙවර රාවයේ පළවි ඇති ආකාරයට භාරත ඇමතු අවසාන රැස්විමේ දි ඔහු පවසා ඇත්තේ කුඩුකාරයන්ගේ රැස්විම්වලට ආරක්ෂක ලේකම්වරයා ගෙනි යනු ලබන බවයි. ඒ අනුව සංඝ රත්නයෙන් ගරු නාම ලැබූ ආරක්ෂක ලේකම්වරයා එසේ හැසිරෙමින් සිටී. ඒ ගරු වීරයාම මිනීමැරුමක සැක කරුවෙකු ආරක්ෂා කරමින් සිටි. අනේ අපේ හාමුදුරුවනේ අවසර මේ මොකද වෙන්නේ???
මේ අතර භාරතගේ රූමත් දියණිය දේශපාලනයට එන බවට ප්‍රකාශ කර ඇත. මෙහි ඇති කරුමක්කාර බව වන්නේ උපන් දා සිට ජරා ජීර්ණ දේශපාලනය අත්විදි ඇයට මේ ක්‍රමයෙන් මිදීමට තරම් ශක්තියක් ධෛර්යයක් ඇත්ද යන වගයි. නමුත් ඒ මිනියත් මහින්දට වාසියක් බව මෙයින් පෙනී යයි. දේශපාලනය වෙනුවෙන් මිය ගිය තාත්තාගේ දියණිය දූෂණයට මැරකමට එරෙහි  නිල් පාට ඡන්ද කාරයන්ට නිල්පාටට කතිරයක් ගැසිමට අරමුණක් ජවයක් සපයයි. මේ අතර තවත් නොබෝ දිනකින් සිහිය එන ජනහිතකාමි ආර් දුමින්ද සිල්වා මැති උතුමා වනාතේ පුංචි බොරැල්ලෙ ආදී වූ වතු ජනතාව සමග සිටින වරක ජනාධිපතිතුමා ම කියු පරිදි තමන්ගෙ වත්තට ඇවිත් බයක් නැතුව ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් නායකයා ලෙස එකම මැතිවරණයක භාරතගේ දුව සමග තරග කරනු ඇත. මේ දෙදෙනාම එකම ආණ්ඩුවක තනතුරුද දැරණු ඇත. දෙදෙනාගේම නායකයා ත්‍රීසිංහලාධීශ්වර රෝහණ ජන රංජන අපේ උතුමාණන්ම වනු ඇත.

Tuesday, August 2, 2011

පළාත් සභා හා උතුර

රජය ඉතාමත්ම දැවැන්ත උත්සාහයක් දරාවත් උතුරේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට තබා සැළකිය යුතු සාර්ථකත්වයක්වත් උතුරේ ඡන්දයෙන් ලබා ගැනීමට අසමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අනාගත හැසිරීම පිළිබද පෙරමං කීමක් පෙන්නුම් කෙරේ. යුද්ධය අවසාන වීමෙන් පසුව දේශපාලන විසදුම යන්න හුදු කල්මැරීම සදහා භාවිතා කරන උපාය මාර්ගයක් බවට පත් කරගත් රජය ඒ තුළින් තමන් පවතින තත්ත්වය ඉතා සාර්ථකව කළමණකරණය කරන බවට වන සිතුවිල්ලෙන් තේජස් වී සිටින බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එය ඉතාමත් හොදින් පැහැදිලි වන්නේ චන්ද්‍රකා රජය සමයේ හෝ රනිල් ගේ දෙවසර තුළ හෝ දේශපාලන විසදුමක් සදහා රජය සූදානම් වේය යන්න සමාජයේ අවධානය දිනා ගැනිමට සමත් වූ ආකාරයත් අද වන විට දේශපාලන විසදුමක් සදහා රජය සූදානම් වේය යන්නට මාධ්‍ය හෝ සිවිල් සමාජය හෝ සංවේදී වන ආකාරය අනුවය. ඒ අනුව එකවර ඉඩම් හා පොලිස් බලතල දිය යුතුයි යනුවෙන් තර්කයක් මතුවේ. ඒ සමග මම මැරුණත් එවැන්නක් නොකරනවා අපේ හාමුදුරුවනේ යනුවෙන් ගාම්භීර ස්වරය මතුවේ.
නමුත් අප මුලින් ම අවබෝධ කරගත යුතු කාරණය වන්නේ ද්‍රවිඩ ජනතාවට සැබෑ දේශපාලන ප්‍රශ්නයක් පවතින බවයි. යුධ ජයග්‍රහණයත් සමග ඔද වැඩුණු දකුණ අද වන විට දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්නයක් නොමැත යන තැන දක්වා පල්ලම් බැස ඇති බව ඉතා සියුම්ව නිරික්ෂනය කිරීමේදී පෙනී යයි. මෙය ඉතාමත් භයානක මෙන්ම ශෝචනීය අනාගතයක් පිළිබද පෙරමග ලකුණකි.
මීලග කරුණ වන්නේ මෙරට බලය බෙදාහරිමින් උතුරු නැගෙනහිර අර්බුදය සදහා මේ වන විට ලබා ගත් ව්‍යවස්ථාමය පියවරක් ලෙස පළාත් සභා ක්‍රමය වර්තමානය වන විට ස්ථාපිතව තිබීමයි. පසුගිය දා විමල් වීරවංශ ඇමතිතුමා ලංකාදීප ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකදී කියා තිබුණේ දැන් අප උත්සාහ ගත යුත්තේ 13න් මෙහාට යාමට බවයි. නමුත් එය ප්‍රායෝගික ද සහ 13 හරහා ගොඩනැගුණු තත්ත්වය ඇත්තෙන්ම කුමන ස්වරූපයක් ගනීද යන්න රටේ දේශපානය සංදර්භය තුළ මීට වඩා සාකච්ඡා විය යුතුය.
පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු වී ඇති බව අද වන විට ගොඩනැගි ඇති මතයයි. එම නිසා 13න් ඔබ්බට බලය බෙදාහැරිය යුතු බවට තර්කයක් මතුවී ඇත. නමුත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමේ සැබෑ ස්වරූපයක අප මෙතෙක් දැක නොමැත. ඒ මන්ද යත් උතුරේ පළාත් සභාව අද වන තෙක් ක්‍රියාත්මක නොවුණු බැවිනි. නමුත් අනාගතයේදි උතුර සදහා පළාත් සභා මැතිවරණයක් නිදහස්ව හා සාධාරණව පැවතුණහොත් එය අනිවාර්යයෙන්ම ද්‍රවිඩ සන්ධානයේ බලයට නතු වන බව නියතය. පළාත් පාලන මැතිවරණය දෙස් දෙන්නේ ඒ සදහායි. එම නිසා මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොළඹ මහ නගර සභාවට මැතිවරණ නොපවත්වනවා මෙන් උතුරු පලාත් සභා මැතිවරණය ද නොපවත්වා තවදුරටත් උතුරු පලාත් පරිපාලන දේශපාලනික හැසිරවීම මිලිටරි යාන්ත්‍රණය හරහාම කරගෙන යෑමට කටයුතු සූදානම් කරනු ඇත.
නමුත් මේ තත්ත්වය ඉතාමත්ම අදූරදර්ශි එකක් වන අතර දකුණට සැබැවින්ම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබද වුවමනාවක් පවතී නම් කළ යුතු ප්‍රථම රාජකාරීය වන්නේ උතුරේ හමුදා යාන්ත්‍රණය බැරැක්ක හා කදවුරු තුළට සීමා කරමින් සිවිල් පරිපාලන යාන්ත්‍රනය නැවත ශක්තිමත් කිරීමයි. ඉන් අනතුරුව උතුරු පළාත සදහා පළාත් සභා මැතිවරණය පවත්වා එම පත්වන පළාත් සභාවට ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමයි.
උතුරු පළාත සදහා පළාත් සභාවක් ක්‍රියාත්මක වුවහොත් එය මධ්‍යම රජයේ බලය දරන පක්ෂයෙන් ස්වාධින නම් අනිවාර්යයෙන් ම අධිකරණය හරහා විධිමත් කළ යුතු ගැටලු රාශියක් පැන නගිනු ඇත. ඒ මන්ද යත් 13 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ අටවා ඇති එකක් නිසා එහි ඇති අපැහැදිලිතා විශාල වශයෙන් මධ්‍යම රජයේ බලය දරන කණ්ඩායමට නතු නොවන පක්ෂයක් පළාත් සභාවේ බලය ලබා ගැනීම තුළ මතුවනු ඇත. එවිට අධිකරණයට බලය බෙදාහැරීමට පක්ෂපාතී දෘෂ්ටියක සිට එම ගැටලු විසදීම තුල පළාත් සභා ක්‍රමයට අර්ථයක් ලබා දිය හැකිය. මෑතකාලීනව අධිකරණය එවැනි නැඹුරුතාවයක් පෙන්නුම් කර ඇති අතර විශේෂයෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ලබා දී ඇති තීරණ ඒ පිළිබද සාක්ෂි සපයයි.
මෙලෙස පළාත් සභා ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම තුළ මතුවන ඊළග ගැටලුව වන්නේ පලාත් සභා සදහා ඉඩම් හා පොලිස් බලතල ලබා දිය යුතුද නැද්ද යන්නයි.
ඉඩම් බලතල සම්බන්ධව මුලින්ම අවධානය යොමුකළ හොත් කිව හැකි කාරණය වන්නේ 13 වන සංශෝධනය හරහා ඉඩම් බලතල සැබවින්ම බෙදාහැරීමක් කර ඇත්ද යන්න පවා ප්‍රශ්නයක් බවයි. එම නිසා ඉඩම් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් අනිසි බියක් ජනතාව තුළ ඇති නොකිරීමට වගකිව යුතු දේශපාලන නායකයන් සියලු දෙනා පාහේ කටයුතු කළ යුතුය. ඉඩම් යන වචනය දුටු පමණින් අපෝ බෑ බෑ බෑ කියා ගැසීම තුළ අද වන විට ජනතාවද ඒ පිළිබද විශාල චකිතයක් ඇති කර ගෙන ඇත. මෙය හුඹුස් බියක්ම පමණි. නමුත් අද වන විට ඉඩම් විෂය කිසිදු සැලැස්මකින් තොරව පලාත් සභා ලැයිස්තුවට අන්තර්ගත කිරීම තුළ උද්ගතව ඇත්තේ අනවශ්‍ය පරිපාලනමය සංකීර්ණතාවක් පමණි. එම නිසා  පවතින තත්ත්වයෙන් ඉඩම් බලතල ක්‍රියාත්මක කරලීම එලොවටත් නැති මෙලොවටත් නැති ක්‍රියාවකි. ඉදිරි ලිපියකින් මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
පොලිස් බලතල සම්බන්ධව නම් කිව හැකි කාරණය වන්නේ වෙනම රාජ්‍යක් නිර්මාණය කිරීමට මග පාදන ආකාරයේ වෙනම පොලිස් හමුදාවක් නිර්මාණය කිරීමක් 13 තුළින් සිදුවී නොමැති බවයි. නමුත් ඉල්ලන්නන් වාලේ පොලිස් බලතල ඉල්ලීම ඇත්තටම අවශ්‍යද යන්න පිළිබදවද සිතා බැලිය යුතුය. මා දකින ආකාරයට පොලීසිය මෙන්ම රාජ්‍ය සේවයද රාජ්‍ය තාන්ත්‍රික සේවාවද පත් කිරීම මාරු කිරීම් ඉවත් කිරීම් බදවා ගැනීම් සම්බන්ධව ස්වාධීන කේෂ්ත්‍ර විය යුතුය. අද වන විට ලංකාවේ උද්ගතව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ මෙම කේෂ්ත්‍ර ඉතාමත්ම උග්‍ර ලෙස දේශපාලනීකරණය වී තිබීමයි. එය වහාම නිවැරදි විය යුතුය. මෙහි ලා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංකල්පමය වශයෙන් ඉතා ප්‍රශස්ත උත්සාහයක් වුවද එහි තිබූ සුළු සුළු ප්‍රායෝගික ඌණතාවයන් නිසා හොර රහසේම 18 හරහා එම උත්සාහය අක් මුල් ද විනාශ වන පරිදි පසුපසට ගැනීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්ත පරාජයකි.
ඒ අනුව මා දකින පරිද ද්‍රවිඩ ජනතාවට පොලීසිය සම්බන්ධව ඇති ප්‍රධානතම ගැටලුව තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගොස් නිළධාරීන් සමග කටයුතු කිරීමට තිබූ නොහැකියාව හා පොලීසිය විසින් ද්‍රවිඩ ජනතාවට පිටස්තරයන් ලෙස සැළකීමයි. පොලිස් සේවය ස්වාධින එකක් බවට පත් කරලීමත් බදවා ගැනීමේදී හා උතුරට යෙදවීමේදී භාෂා හැකියාව නිර්නායකයක් කර ගැනීමත් තුළ සාමාන්‍ය ජනතාවට පොලීසිය පිළිබදව තිබූ ගැටලුව බොහෝ දුරට සමනය කිරීමට හැකි වනු ඇත. එසේ නොමැතිව පලාතේ පොලිස් හමුදාව මහඇමතිවරයාගේ පාලනයට නතු කිරීම බලය බෙදා හැරීමේ අරමුණු සාධනයටත් යහපාලන අභිමතාර්ථවලටත් කිසිම අනුකූලතාවයක් නොදක්වයි.
මෙකී තත්ත්වය තුළ පළාත් සභා ක්‍රමයට අනවශ්‍ය බාධා කිරීම් නොමැතිව ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම මෙරට දේශපාලන ස්ථාවරත්වයට හා රටේ අනාගත අභිවෘද්ධියට හිතවත් දකුණ විසින් කළ යුත්තයි.
නමුත් මෙකී කිසිදු බලය බෙදා හැරීමේ උත්සාහයක් පවතින ඉතා ප්‍රබල ආසන්න ඒකාධිපති විධායකයත් සමග ප්‍රායෝගික කාරණයක් නොවේ. එම නිසා බලය බෙදා හැරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වයට නම් විධායක ජනාධිපති ක්‍රමය වහා සංශෝධනය විය යුතුය. ආසන්න ඒකාධිපති විධායක ජනාධිපති ධූරයට සංශෝධන ගෙන ඒ මෙන් තොරව මෙකී කිසිදු උතුරට ලබා දෙන විසදුමක් සාර්ථක නොවනු ඇත.

Friday, July 22, 2011

මගේ රට

අද වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් සම්මතය නම් දේශපානේ නැතුව මුකුත් බෑ යන්නයි. ඒ අනුව පොලීසියකට යන්නට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නට පමණක් නොව සියලුම කාරණා සම්බන්ධව  හරියට කොරගන්න නම් දේශපාලනඥයන්ගේ පශ්චාත් ප්‍රෙද්ශය ඉඹින්නට වීම සාමාන්‍යය. වෙනත් ආකාරයකට කිවහොත් විකෘති වූ ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් මතින් බිහිවු දූෂිත ක්‍රමය විසින් සමස්ත සමාජයේම සකල විධ කටයුතු පාලනය කිරීම සිදු විමයි. එදා මෙදාතුර රජයේ රැකිය උසස් වීම් පත්වීම් සිදු වූයේ ද සිදු වන්නේ ද දේශපානඥයන්ගේ දුර්ධාන්ත හස්තය හරහාය. පසුගිය දා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය සැබවින්ම යොමු වී තිබුණේ උගත්කමට ලැබිය යුතු වටිනාකම ලබා ගැනීමටය. විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙකු වීමට තබා උපාධිධාරියෙකු වීමට කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වැනි උග්‍ර ප්‍රයත්නයක යෙදිය යුතුය. සාමාන්‍ය උපාධිධාරියෙකු වීම උස්සපෙළින් විශ්ව විද්‍යාලයට එන්නෙකුට පහසු වුවත් උස්සපෙළ සමත් වීම පූර්ව ජන්මගත පින්කමක් නිසා නොවන්නට එතරම් පහසු නැත. මෙය අදාළ වන්නේ අව්වේ පින්නේ වැස්සේ නැහෙන බඩට නොකා දරුවන් තුළින් අනාගතයක් දකින දුප්පතාගේ පුතාට පමණි. නමුත් පවතින ක්‍රමය තුල පැවැත්මක් තහවුරු කර ගැනීමට හැකියාව උගත්කම නොව කොන්ද කඩා කුඩු කර දේශපාලන බල්ලන්ට රසවත් මස් කට්ටක් ලෙස සූප්පු කිරීමට දිය යුතුය.
ඒ අනුව මෙරට සමාජ ස්ථරයක් ලෙස දේශපානය හරහා ධනය එකතු කර ගන්නා ඒ මත යැපෙන පිරිසක් බිහිවී ඇත. හෘදය සාක්ෂිය මුදලට විකුණු අලුතින් පර්මිට් කාර් එකක් අලුතින් රජයේ තනතුරක් වෙනුවෙන් 18 හොදයි කියන්නට පෙරට එන විශ්ව විද්‍යාල ආචාර්යවරයා සිට ගමේ පාරවල් ටික ප්‍රෙද්ශීය දේශපානඥයා සමග එකතු වී කොන්ක්‍රීට් කිරිමෙන් කුට්ටි කඩා ගෙන ජීවත් වන මිනිසුන් දක්වා මැරයන් කුඩුකාරයන් ගණිකා නිවාස පාලිකාවන් පමණක් නොව මහා දැවැන්ත ව්‍යාපාරිකයන් දක්වා අයත් වන්නේ මේ කුලකයටයි.
ඒ නිසා අද වන විට සමාජ ස්ථර අතර ඉහළට යන්නට ඇති එකම ඉනිමග දේශපානය තක්කඩිකම බව සියලු ජනතාව වෙත  එන්නත් වී අවසානය. තාරුණ්‍යය යනු අයුක්තියට අසාධාරණයට එරෙහි වන ඉක්මනින් රත්වන ලේ ඇති කොටසයි. නමුත් කිසි හිරිකිතයක් නොමැතිව ශිෂ්‍ය සභාවේ සභාපති වී සිරිකොතට හෝ නාමල්ට කඩේ යන්නට සිහින මවන සරසවි ශිෂ්‍යයා, උසස් පෙළ සමත් වුණත් විශ්ව විද්‍යාලයේ යෑමට ලකුණු මදිවූ සිරසේනගේ කොල්ලා, උපාධිය ගත්තත් දැන් ගෙදරටම වී  අවුරුදු පහක් විතර වන උපාධිධාරිය ඇතුළු තරුණයා නියෝජනය කරන සියලුම කුලකයන් මේ අමිහිරි යථාර්ථයට ඒ පිළිබද කිසිදු සංවේදී බවක් ඇතුව හෝ නැතුව  හැඩ ගැසී ඇත.
ඒ අනුව පසුගිය දා ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඩලස් ලොකු කතා කියා විශාල ප්‍රසිද්ධියක් දී පැවැත්වූ යොවුන් පාර්ලිමේන්තු ඡන්ද හා එහි මන්ත්‍ර වූවන් තුළින් ද කැඩපතක් සේ පිළීබිඹු වන්නේ ඒ පිළිකුල් සහගත ඇත්තමය. දේශපානය කළ යුතුය නැත්නම් පැවැත්මක් අනාගතයක් නැත සිතූ තරුණයන් ටිකක් මෙයට අයදුම් කළහ. ඒ අනුව ප්‍රෙද්ශයේ තරුණ කටයුතු නිළධාරීයා අල්ලා ගෙන ටියුෂන් පන්ති පිටින් යෞවන සමාජ ලෙස ලියාපදිංචි කර ඡන්ද මිටි පිටින් හොර හොරා දාගෙන මන්ත්‍රි වීමට මේ අය උත්සාහ කළ බව අසන්නට ඇත. අනාගත නායකයන් නියම පාරේ යනවා කියන්නට එය ඉතා අගනා සාක්ෂියකි. ඉන්පසු මංගල රැස්වීම තියන්නට යොවුන් පාර්ලිමේන්තුවට මාස හය හතක් බලා සිටින්නට විය. මහින්ද මෙයට විරුද්ධ වූ බවද අසන්නට ඇත. ඒ ප්‍රෙද්ශීය දේශපානඥයන් තමන්ගේ පුතාලා මුණුපුරාලාට හිමි තැනට එක එක අහින කඩයෝ රිංගීමෙන් තර්ජනයක් වනු ඇතයි මහින්දට මැසිවිලි කිව් නිසාය. ඉන්පසු මන්ත්‍රි වූ අය මන්ද බුද්ධිකයන් ලෙස තරුණ සේවා සභා භූමියේ රංගනයේ යෙදුණි. මම අහවල් ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් උඹල මට ඇමති වෙන්න උදව් කරපන් ආදී ලෙස පමණක් නොව යොවුන් අගමැති වීමේ බලාපොරොත්තුවෙන් කාර් එකක් කරකව මම නාමල්ගේ ලේකම් කෙනෙක් මම තමයි අගමැති කී අය ද සටියහ. මේ අතර හම්බන්තොටින් ආ අයෙක් සජිත් ලෙස අැද ගෙන ඔහු ලෙස කතා කරමින් හැසිරුණි. මේ පිරිස වට කරගෙන නාමල්ගේ ගෝලයන් වන ලලිත් පියුම්ලා පමණක් නොව ඔහුගේද ගොලයෙකු වන උදුල ලා වීරයන් වූයේය. මේ උදුල සමග විප්ලවවාදී ධම්ම සර්ද වාඩිවී සිටිනු දක්නට ලැබීම පුදුමයට කාරණයක් නොවුණි.

Friday, July 8, 2011

සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.

සංගක්කාර ලෝඩ්ස් හි කළ ප්‍රකාශය පිළිබද ගින්නක් ඇවිලෙමින් ඇති නිසා ලියන්නට සිතුණි. කලබලේ ලියන නිසා සිතුවිලි ගැලපේදෝ මන්දා.
මගේ මතකය නිවැරදි නම් ටී බී ඒකනායක මහතා ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දී ටික දිනකින් ම කළ බරපතල ප්‍රකාශය වූයේ ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉතාමත් ම දූෂිත එකක් බවයි. ඒ ප්‍රකාශය හේතුවෙන් ඒ මහතා දේශපාලන වශයෙන් ඉතාමත් දුර්ධාන්ත ඉරණමකට මුහුණ දුන් අතර ජනාධිපතිතුමාගෙන් ලකුණු කපා ගෙන අද වන විට මුලු ගැන්වී සිටියි.
ඉන් පසු මෙරට ක්‍රීඩා ඇමතිකම දුන්නේ ඉතාමත් ම සුදුසු පුද්ගලයාටය. මහින්දාන්ද යනු මර්වින් සිල්වා වර්ගයේ මෙරට ආණ්ඩුකළ හැම නායකයෙක්ම අගය කරන ආකාරයේ දේශපාන චරිතයකි.
මෙරට හැමදාම ජනපතිලා අගමැතිලා අගය කළේ තමන්ට ඕනැ ආකාරයට අත උස්සන තමුන්ටද ගසා ගෙන ලොක්කන්ට ද කන්න දෙන වැඩි දේවල් නොකරන නොහිතන පිරිසය. මේ අතර ක්‍රිකට් ගැසිය යුත්තේ බිස්නස්කාරයන්ගේ හා දේශපානඥයන්ගේ පුත්තු නම් එය ඉතා අගනේය. සංගක්කාර නීති පීඨයේ උපාධිය අතහැර ක්‍රිකට් ගැසීමට ආ මෝඩයෙකි. ඕනවට වඩා හිතන අය දේශපානයටය වගේම ක්‍ර්කට් වලටද අගුණය. සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.
අද වන විට මෙරට අනෙකුත් ආයතන මෙන්ම ක්‍රිකට් ආයතනයද ඉතාමත් දූෂිත බව නොකිව මනාය. අද වන විට ලංකාවේ පවතින ඉතාමත්ම දුක්ඛිත තත්ත්වය වන්නේ රට තුළ මේ පිළිබද තොරතුරු හෙළි දරව් නොවීමත් ඉතා සූක්ෂම හා තිරිසන් ආකාරයට එම විනිවිදභාවය වළලා තිබීමත්ය. සංගක්කාර ලෝඩ්ස් ගොස් කීවේ මෙරට ඒ සදහා වේදිකාවක් නොවීම නිසායි.
පුද්ගලයෙකු ලෙස සංගක්කාර යනු ක්‍රීඩකයෙකුට එහා ගිය සම්පතකි. ඔහු වැනි උගතෙකු හා බුද්ධිමතෙකු ක්‍රිකට් සදහා ලැබීම අපට පමණක් නොව ලොවටද සම්පතකි. මා දන්නා හා මට හැගෙන තරමින් අර්ජුන දේශපානයට ආවේ ක්‍රිඩා ඇමති විමටය. නමුත් චන්ද්‍රකාවත් මහින්දවත් ඔහුට එය නොදුන්නේ ක්‍රිකට් යනු කන්න හොද තැනක් නිසා ඔහු බලාපොරොත්තුවන දේ කිරීමට දීම බාගෙන ඉහගෙන පෙරළී පෙරළි කන්නට ඇති දේ අහිමි කරගැනීමක් නිසාය.
සංගක්කාර ද්‍රෝහියෙක් නිසා කැළනියෙන් කොලොන්නාවෙන් දෙකෙන්ම දේශප්‍රේමියෝ බත් පැකට් එකට හා අරක්කු බෝතලයට එළියට බසින්නට ඉඩ නැත්තේ නොවේ.
විපරමේ ද දැනටම මේ ගැන කියා තියෙනව වෙන්නට ඇත. එහිදී සංගක්කාරගේ ජාතකය ද ප්‍රශ්න කර රනිල්ගේ පින්තූරයක් සමග දමනු ඇත.
හෘද සාක්ෂිය විකූණු මිනිසුන්ට පමණක් ජීවත් වීමට සුදුසු දේශයේ හෘද සාක්ෂිය අවදි කළ සංගක්කාර අභිමනවත් මෙන්ම තමාගේ දවසේ යුතුකම නොපිරි හෙළා ඉටු කළ පුරවැසියෙකි. ඔබට උපහාරයක් ම වේවා.

Friday, April 1, 2011

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි!

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි!
ආයුබෝ වේවා මහරජානනි!

බතින් බුලතින් පිරී
තුටින් මිනිසුන් හිදී
වවන් කන්නට හුරුව
ගණන් නම් එළවළුත්

දහ අටලු බිත්තරත්
ගෙදර පර්චස් හයේ
කුකුළු කොටුවක් හදං
මාළු ‍වැඩි වුණ දාට
බාගන්න වැවට යමු

ඉතින් මේ සුරපුරේ
මොකෙන් නම් අඩුවක් ද

මාගම්පුරෙත් දැන්
නැව් වලින් පිරෙනවා
ඇයි? ....‍ලෝක කුසලානෙ
ගම්වලත් ගහනවා

මේ ආශ්චර්යයට
දෑත සවිමත් කරමු
ඒත් මදි වාගෙ නම්
පු- වුණත් දෙමු නේද???

මෙය මා ලියූවක් නොව මගේ මිතුරෙකු විසින් ලියා තිබුණකි. ඔහුගේ ද අවසරය පිට එය මෙසෙ ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි

Friday, March 11, 2011

ඒක මුන් දන්නෑ.

හරමානිස්ගේ කොල්ලා එහා ගමේ කෙල්ලකගේ අතින් අල්ලාගෙන ඉදල ඉස්කෝලෙ මහත්තයට අසු වී ගුටි කා තිබීම ඌට අහල ගම් හතකින්වත් හිරයක් ගැනීමට නොහැකි තරමේ අපරාධයකි. ඌ අසික්කිතය. නොහොඹිනාය. ගෑණු පුලුටක් තියෙන ගෙයක් දොරක් හතර මායිමේ ඌ වැද්ද නොගනී. ඒත් ඉතින් අර කුමාරසිංහ රත්තරං නෝනො දැන් කොච්චර වයසක් ද? ඉටි රූපෙ වාගේ ලස්සන. ඒ නොනා ඕන ඕන විදියට රෙද්ද ගලවනව කියල රටම දන්නවනෙ. අර අහවල් රටේ ලොකු ඇමැතිතුමා එක්ක නිදිවදිනව කියල අපේ රටේ එවුනුත් දන්නවනෙ? ඒත් උන්දැගෙ සීදේවිකම ගැනමයිනෙ කතාව. උන්දැ ස්ටේජ් නගින්නෙ බීල කියලනෙ සමහරු කියන්නෙ. අනේ ඉතින් ඒව මෙකනෙන් අහල අනිත් කනෙන් පිට කරල අම්මල ආත්තම්මල එහෙම හති දාගෙන දුවල ගිහිං ඡන්දෙ දුන්නෙ.
ඉස්සර අපේ ගමේ කෙහෙල් කැනක් එහෙම හොරු කැපුවහම කපපු එකාගේ අම්ම බැනුම් අහනව නෙමෙයි මැරිල නම් වලෙන් නැගිටල එන තරමට දෙස් අහනව. සොහොනටත් හෙණ ගහන්න කියල තමයි දෙස් දෙවොල් තියන්නෙ. ඒ විතරක්ය? කීය ගියත් කමක් නෑ කියල ගැටබරු ගිහින් මිරිස් අඹරනව පවුල් පිටින් හැදි ගෑවෙන්න. ඒත් ඉතිං රජ පවුලයි උන්ගෙ කටු කන හැත්තයි රෙදි නැතුව රටම හොරා කනව කියල කිරි සප්පයගෙ ඉදල දන්නවනෙ. ඒත් ඉතිං උන්නාන්සෙල එහෙම කොරාම මක්කැයි ඔතනට එන කොයි එකත් එහෙම තමයි. යූ එන් පී කාලෙ ගමේ ඉන්න යූ ඇන් පී පරයො ජනසවියෙන් කාපු කෑම! ඉතිං අපේ උන්නාන්සෙල පොඩ්ඩක් කෑවහම මොකො?
ගමේ ඉස්කොලෙවල යන සිපයියො ගන්න දෙයක් නෑ. හැදියාව බින්දුවයි. මහ ගොඩේ ගොරකයො විදියට තමයි වාසෙ දේසෙ හැදෙන්නෙ. එහෙම කියල අපේ කුඩප්පාගෙ කොල්ලත් ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දාන්න මේ දවස්වල මහඋන් පුදුම විදියට වලිකනව. සේසතම උකස් කරල හරි කොල්ල ඉස්කොලෙට දානව කියල තමයි අපේ බාලම්ම මං එහෙ ගිය වෙලාවෙ මගෙත් එක්ක පම්පොරියට වගෙ කිව්වෙ. ඒකනෙ ලොකු ඉස්කොලෙකම යන්න ඕන කොල්ල හැදෙන්න. ලංකාවේ ලොකු ඉස්කොලවල ඉගන ගන්න පුත්තු ඉගන ගත්තු පුත්තු රත්තරං. අර කොහේදෝ රටක අගනුවර තියන රෝයල් ද මොකක්ද කියල ලොකු ඉස්කෝලෙක නම් දැන් අවුරුදු ගාණකට කලින් ආදිශිෂ්‍ය උත්සවයක ආපු ලොකු මිනිස්සු විදියට ඉස්කොලෙන් එලියට ආපු මහත්තොරු වගයක් කෙල්ලො තුන් දෙනෙක්ගෙ රෙදි ගලවල අමු හෙලුවෙන් කණුවක නග්ගල කොඩියක් ගැලෙව්ව කියල කතාවක් තිබුණ. අපේ රටේ නම් එහෙම නෑ. අනිත් එක අපේ ලොකු ඉස්කො‍ලවල බිග් මැච් ‍කාලෙට වුණත් මහලොකු ජරා වැඩ වෙන්නෙ නෑනෙ ගමේ උන් රා බොනව වගෙ. පොඩියට විස්කි බෝතලයක් වගේ එකක් කඩල ආතල් එකක් අරගෙන රෙස්ප බඩුවක් සල්ලිවලට අරන් පොලිමක් දානව ඇරෙන්න( කොන්ඩම් දාගෙන ඒ වුණාට).
ආන්ඩුවෙ කැමිපස්වල ඉගන ගන්න උන් නම් අජූතයි. ආතක් පාතක් නැති උන් යන්තම් විභාගෙ පාස් කරල මේවට ඇවිත් රැග් කරල පොර වෙල ලොකු ලොකු උන්නාන්සෙලාටත් ඇටෑක් එකටයි කතාව. ඒකට ප්‍රයිවට් කැම්පස්. රට හොරු අරන් ගියත් සද්ද නැතුව ගාන ගෙවල ෂේප් එකේ ඉන්නව. උන් පොඩ්ඩක් රැග් එක දීල ආතල් එකක් ගත්තත් වැරැද්දක් නෑනෙ. ලොකු මිනිස්සුන්ගෙ රජ පැටව්නෙ.
අපෝ බීච් එකක් පැත්ත පලාතක යන්න බෑ අසමජ්ජාති කොල්ලො කෙල්ලො හු....... නැති එක විතරයි. ඒකත් කරනව ද දන්නෙ නෑ. ඕකුනව ඇදගෙන ගිහිං කූඩු කරන එකමයි හරි. කාලකණ්ණි! ඒත් ඉතිං ලොකු හොටෙල්වල ජීන මැඩම්ල වගෙ අය හිටියට කමක් නෑනෙ. ඒවට එන්න රට කරවන ඈයො නෙ. අනිත් එක ලව් කොරල අහුවෙන උන්ගෙ මහ උන් වත් එන්නෙ නෑ උන්ව බේර ගන්න. ජීන මැඩම්ල වෙනුවෙන් ඒ සරත් නොවෙන මේ සරත් සභාපතිතුමා වගේ දෑ හිතකාමී දේශප්‍රේමියොවත් ඉන්නව.
අල්ලපු ගෙදර ගෑණි තරුණ කොල්ලො එක්ක ඕනවට වැඩියි කියල ගමම කතාවෙනව. ඒනිසා ඒකි‍ අල්ලල නොකියන කුණුහරුපයක් නෑ. මහවල් ගෑණු! අර අනර්කලී නෝනල ඇග මහත යෝධය වගේ සිල්ව මහත්තයල කරන කියන දේවල් මේ ගොඩේ ගෑණුන්ට පුලුවන්යැ. අහවල් එක විතරක් තිබුණ කියල ඒව කොරන්න බෑ කියල මුන් දන්නෙ නෑ. අන්කලී නෝනල නම් ඡන්දෙ වුණත් ඉල්ලල දිනනව! ඒක මුන් දන්නෑ.

Saturday, March 5, 2011

නොවැසුනු සරසවියක් අඛණ්ඩ අධ්‍යාපනයක්

මෙලෙස ලියවී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආපන ශාලාවේය. මා මෙම ලිපිය තුළින් අවධානය යොමු කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම පීඨය පිළිබදව නොවුණත් කොළඹ විශ්ව විද්‍යාලය තුළ පැල පදියම් වී ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ ස්වරූපය පිළිබද ඉතාමත් පැහැදිලි පිළිඹිබුවක් ලබා දීමට මෙම පාඨය සමත් ය. මෙම මෙලෙස අභිමානවත්ව ආපන ශාලා බිත්තියේ ලියා තිබුණෙ එක්තරා ශිෂ්‍ය සංවිධානයක් මගින් ය. පසුව මා දැනගත් ආකාරයට වර්තමානයේ බලවත් වන්නේ මෙම ශිෂ්‍ය සංවිධානය යි. පරිපාලනයට අවශ්‍ය ආකාරයේ සුවච කීකරු දරු පිරිසක් නිර්මාණය කිරීම‍ට වසර 15ක 20 පමණ සිට එකී පරිපාලනය දැරූ උත්සාහය මේ වන විට මල් ඵල දරා ඇති බවට මේ පාඨයම සාක්ෂි සපයයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවන දෑ බොහොමයක් පිළිබද මා දැනුවත් වන්නේ මගේ බෝඩිම් සගයා එහි ශිෂ්‍යයෙකු වීම නිසාය. සියුම් ඇසකින් සිදුවන දේ දෙස බලන ඒ පිළිබද ගැඹුරින් විශ්ලේෂණය කරන මගේ මිත්‍රයා මා සමග සිය පීඨයේ සිදුවන සිදුවීම් පිළිබද මෙතෙක් කල් පැවසූ කාරණා ඇසුරින් ලිපියක් ලියන්නට මම සිතීමි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නිළවරණ පැවැත් වෙන්නේ නැති තරම් ය. උදාහරණයක් ලෙස ශාස්ත්‍ර පීඨය සදහා වසර ගණනාවකින් නිළවරණයක් කැදවා නැත. නමුත් මාගේ මිත්‍රයා ඉගනුම ලබන පීඨය සදහා පසුගිය වසර තෙක් ශිෂ්‍ය නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව දී ඇත. නමුත් මේ වසර සදහා අධ්‍යන වර්ෂය අවසන් වීමට ද ආසන්න නමුත් නිළවරණ කැදවා නැත.
ශිෂ්‍ය නිළවරණ කැදවූවත් වර්තමානය වන විට පිරිසක් එකතු කර ගත හැකි ක්‍රියාකාරිකව නැගී සිටිය හැකි ශිෂ්‍ය එකතුවක් අද වන විට එහි ඉතුරු වී නැත. මා මිත්‍රයාට අනුව පසුගිය දා එම පීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙකුගේ මෑණියක අභාවප්‍රප්ත වී ඇති අතර එහි ගොස් තිබුණෙ කිහිපදෙනෙකු පමණි. මරණයකටවත් නැති තරමට මේ පීඨය තුළ ආත්මාර්ථකාමී සිසුන් පිරිසක් බවට බිහිව ඇත. වර්තමානයේ සම්පූර්ණයෙන්ම පරිපාලනයට පාලනය කරගත හැකි සිසුන් පිරිසක් බිහිකර ගැනිමට මෙම පීඨයේ පරිපාලනය සමත් ව ඇති අතර වසරකට මෙම පීඨය තුළ සංවිධානය වන ක්‍රියාකාරකම් ප්‍රමාණය අතිශය සීමිත ය. මා මිත්‍රයාට අනුව බොධි පූජාවක් පැවැත් වීමටත් අවසර ගැනීම ටිකක් මහන්සි වී කර ගත යුත්තකි. නවක අභිනන්දන උළෙලක් වැන්නක් සංවිධානයේ දී අපහසු ම හා බැරෑරුම් ම කාර්යය ඒ සදහා අවසර ලබා ගැනීමයි. මෙය පරිපාලනයේ උපක්‍රමශීලි පාලනයයි. ඒ මන්ද යත් මෙලෙස ක්‍රියාවලිය සංකීර්ණ වන විට ඉගන ගන්න උන් වැඩි වැඩ කරන්නට එකතු වෙන්නේ නැත.
මෙම පීඨයේ ශිෂ්‍ය දේශපාලනය ඉතාමත් විහිළු සහගත එකකි. පෙර මෙම පීඨය තුල ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් පැවත ඇති නමුත් ක්‍රමයෙන් පරිපාලනය විසින් තමන්ට අකීකරු ශිෂ්‍ය කණ්ඩායමේ පැවැත්ම විනාශ කර දමා ඇත. අද වන විට ඉතිරිව ඇත්තේ එදා එලෙස මරා ගෙන මැරෙන සටන සදහා පරිපාලනය විසින් බිහි කළ ශිෂ්‍ය කල්ලියෙන් පැවතෙන පරම්පරාවක් පමණි. නොඑසේ නම් අද වන විට // පුරවර පින් බිමේ බේද නැත නොයෙක් පෙදෙසේ සබද නුඹ නිදහස්// තත්ත්වයට මෙම පීඨය පත් කර ඇත.
මෙලෙස ජෙප්පන්ගෙන් නිදහස් වූ ශිෂ්‍ය සංවිධානයේ නායකත්වය හිමි වන්නේ සෑම වසරකම එහි තෙවන වසරටය. ඒ අනුව ප්‍රතිපත්තියක් අයිතියක් දිනා ගැනීමට උවමනාවක් සහ හැකියාවක් නැති නපුංසක වූ මෙම ශිෂ්‍ය කණ්ඩායමේ තෙවන වසරට හැම දාම ඇති එකම ගැටළුව සභාපති වන්නේ කවුද යන්නයි. ඒ අනුව කා කොටා ගෙන බෙලි කපා ගෙන හෝ අත උස්සා අනේ මට සභාපති වෙන්න ඕන කියා ගෙන හෝ සභාපති වීමට දගලයි. ඒ තුළ සභාපති පමණයක් සිටින යූනියන් බිහිවේ. ඒ අනුව සභාපති පරිපාලනය ළග දණින් වැටී අලුතින් පීඨයට එන පුංචි උන් ළග වීරයෙකු වෙයි. මේ විකට සංදර්ශනය  මෙම පීඨයේ ඇති ශිෂ්‍ය දේශපාලනයයි.
තවද මෙම පීඨයේ ශිෂ්‍ය දේශපාලනයේ තවත් අංශයක් ඇත. එනම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කඩේ යෑමයි. ඒ අනුව සිරිකොතට මෙන්ම නාමල් ළගට ද බඩ ගා මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සන්තර්පණය වේ. මෙය අන්තරය නැති වීමෙන්, ජෙප්පන් එළවීමෙන් පසු ඇතිවන තත්ත්වයි. ටික දිනකින් ජපුර ඔබට වන්නේද මෙයම ය.ලිපිය අවසන් කිරීමට පෙර මා මිත්‍රයා ඉදිරියේ මෙම පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුට පීඨයේ පරිපාලනය සම්බන්ධ විශාල බලයක් ඇති කතිකාචාර්ය වරයෙකු වරක් කළ ප්‍රකාශයක් සදහන් කිරීම‍ට කැමැත්තෙමි.
කතිකාචාර්ය: එරංග!! ඔයා මේකෙ ශිෂ්‍ය නායකය *විදියට ළමයි ලෙක්චර්ස් එවන්න දැන ගන්න ඕන
සභාපතිතුමා: එහෙමයි මැඩම්


(* ඉස්සර අපේ ඉස්කොලෙ හෙඩ් ප්‍රිපෙට් ට ප්‍රින්සිපල් සර් අවවාද කරනව මේ විදියට)

Thursday, March 3, 2011

වන්දි බටිටයන් වෙත,

බ්ලොග් යනු ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ඉතාමත්ම අල්ප ලෙස ප්‍රචලිතව ඇති මාධ්‍යයක් බව අවිවාදිතය. නමුත් ඉතාමත් නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සිතැගි ලෙස ලබා දීම තුළ බ්ලොග් ප්‍රජාතන්ත්‍රීය සමාජයකට අත්‍යවශ්‍ය පන්නරය සහ මුවහත ලබා දීමට තරම් විභවතාවයක් සහිත වීම බ්ලොග් වටා දිනෙන් දින පාඨකයන් ඒකරාශී වීමට ඇති එකම හේතුවයි.
නමුත් පසුගිය සමය පුරාවට මා දුටු බොහෝ බ්ලොග් රචකයන් පවතින රජය විවේචනය කිරීම සිදු කිරීම තුළ බ්ලොග් යනු ආණ්ඩු විරෝධී ක්‍රමන්ත්‍රණ කාරයන්ගේ නවතම උපක්‍රමය බවට ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති තුළින් ඉතාම නුදුරේ දීම අසන්නට ලැබෙන බවට වන උපකල්පනයේ සිටියෙමි. විශේෂයෙන්ම පසුගිය සමයේ ඊජිප්තුව ඇතුළු රටවල ඇති වූ කැළබීම් සදහා සමාජ ජාල හේතු සාධක වූ බවට පැතුරුණු ආරංචි මාගේ එම නිගමනය තවතවත් බලවත් කළේ ය. ඒ අනුව බ්ලොග් යනු අධිරාජ්‍යවාදීන්ගේ දුෂ්ඨ කුමන්ත්‍රණයක නවතම මුහුණ බව විමල් වීරවංශ ඇමතිතුමා කොහේ හෝ රැස්වීමකදී ප්‍රකාශ කරනු ඇති බවත් එම කුමන්ත්‍රණය පැරදීම සදහා බ්ලොග් තහනම් කළ යුතු බවට තමා ඉල්ලන බවටත් කෙරෙන අවධාරණය ද මම අපේක්ෂා ‍කළෙමි.
නමුත්  වර්තමානය වන විට බ්ලොග් සින්ඩිවල පිටු පිරෙන්නට ආණ්ඩුවේ වන්දි බට්ට ලියන්නන් ලියනු දැකීමෙන් මා තුළ ඒ පිළිබද වූ බිය තරමක් සියුම් කිරීමට සමත්ව ඇත. වන්දි බට්ටයෙනි ඔබ ගයන්න!!! අප එය අසමි. විරුද්ධ මත ගැටෙන බිමක සවිඥානික ජනතාවක් කවදා හෝ බිහි කිරීමට එය ඉවහල් වනු ඇත. එය මේ සියවසේ අප ජීවත්ව සිටියේදී නොවුණත් දුර අනාගතයක දී හෝ මේ බිමේ මුල් අදින්නට මා පතන ප්‍රජාතන්ත්‍රවාදී සවිඥානික සමාජයට මල් පාවඩ එලනු ඇත.

Wednesday, February 23, 2011

2026 ක් වූ අගෝස්තු මස 07 දා

‍ශ්‍රී ලංකා බල‍ධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු හා කැනඩා ඇතුලු යුරෝපීය රටවල් මේ වන විට රාජපක්‍ෂ පවුලේ විදෙස් දේප‍ල තහනම් කිරීමට තිර‍ණය කර ඇත.ඒ පිළිබද ඇමරිකානු රජයේ තිරණය දැනුම් දෙමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජාත්‍යන්තර මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් පවත්වා ගෙන යනු ලබන දූෂණ විමර්ශන පරීක්ෂණ සදහා සහයක් වශයෙන් මෙය සිදු කළ බවයි.රාජපක්ෂ වරුන්ගේ දිගු පාලන කාලයෙන් පසුව ඇතිවූ දේශපාලනික අරාජිකත්වයෙන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන මෙම රාජ්‍යය පිළිබද පසුගිය දා Newyork Times පුවත්පත දිගු විශ්ලේෂණාත්මක ලිපියක් පළ කර තිබූ අතර අප බ්ලෝග් අඩවිය පරිශීලනය කරන පාඨක ඔබගේ පහසුව සදහා එහි සිංහල අනුවාදයක් පළ කිරීමට අප කටයුතු කරමු.


"ශ්‍රී ලංකාව යනු පසුගිය සමයේ ජාත්‍යන්තර දේශපාලනයේ ඉතා උනුසුම් ලෙස සාකච්ඡාවට ලක් වූ මාතෘකාවකි. සිය රාජ්‍ය පාලකයාට එරෙහිව මාස දෙකක් පුරා අඛණ්ඩ විරෝධතාවය පළ කිරීමෙන් අනතුරුව විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවු මෙහි තත්ත්වය වර්තමානය වන විට බොහෝ දුරට සාමකාමී වී ඇත. ජනතා විරෝධය හා ජාත්‍යන්තර බලපෑම් නිසා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට ශ්‍රී ලංකා ජනාධිපති නාමල් රාජපක්ෂ තීරනය කිරීමන් පසුව තත්ත්වය සාමකාමී අත‍ට හැරුණි.
රාජපක්ෂවරු ශ්‍රී ලංකා‍වේ දේශපාලනයට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් සමයේ සිට සබදකම් පැවැත්වූ නමුත් රාජ්‍ය නායකත්වයට රාජපක්ෂ වරයෙක් ප්‍රථම වරට පත්වන්නේ 2005 වර්ෂයේ දීය. ඒ නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයගේ පියා වූ වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත්වන මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු එහි දී ඉතා තියුණු තරගයකින් විපක්ෂ අපේක්ෂකයා පරදවා ජය ගත් නමුත් සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුව වූ එවකට පැවැති ද්‍රවිඩ තරුණයන් වෙනම රාජ්‍යයක් ඉල්ලා ගෙන ගිය කැරැල්ල මැඩ ජයග්‍රහණය කිරීම නිසා ඔහු අතිවිශාල ජනප්‍රියත්වයකට පත්විය. එෙහත් යුධ ජයග්‍රහණයේ උණුසුම යන්නටත් මත්තෙන් කැදවූ ජනාධිපතිවරණයට අනපේක්ෂිත ආකාරයට යුධ ජයග්‍රහණය සදහා හමුදාව මෙහෙය වූ හමුදා පති ජෙනරාල් සරත් ‍ෆෝසේකා අභියෝගයක් නොමැති සටනකට අභියෝගයක් වෙමින් ඉදිරිපත් වූ අතර ඔහු මැතිවරණයේ දී පරාජය කළ මහින්ද රාජපක්ෂ ඉන් නොනැවතී ඔහු සිරභාරයටද පත් කළේය. රාජපක්ෂ පාලන සමයේ අවසානය තෙක්ම විවිධ චෝදනා රාශියකටම වරදකරු වී සිරගත ව සිට වයෝවෘධ සිර කරුවෙකු ලෙස ‍ෆොන්සේකා මහතා පසුගිය දා නිදහස ලැබීය.
දෙවන වරටත් ජනාධිපති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතිබහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක බලය හිමිකර ගැනීමෙන් අනතුරුව සිය විධායක බලය වැඩිකර ගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිහිපවරක්ම සංශෝධන ගෙන ආ අතර ඒ තු‍ලින් ‍‍ශ්‍රී ලංකා ජනාධිපති ධූරය වර්තමානය වන විට ලෝකයේ රාජ‍්‍ය  පාලකයෙකු සතු වි‍ශාලතම බලතල සහිත ‍ධූරය බවට පත් විය. මේ අතර ඔහුගේ දෙවන ධූර කාලය තුළ රටෙහි ප්‍රකටව පෙනෙන සංවර්ධන ක්‍රියාවලියක් සිදුවන බවට වූ ජනමතයක් ගොඩනැගීමට හැකි වූ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් සිදුවිය. එහෙත් මේ කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය දැඩි පිරිහීමකට ලක් වූ අතර විපක්ෂ දේශපාලනය යන්නක් නොමැති තත්ත්වයට පත් විය. ඒ තුළ තෙවන වරටත් ජනාධිපතිවරයා බවට පත් වීමට මහින්ද රාජපක්ෂ සමත්  වූ අතර එම මැතිවර‍නය දී ඉතා විශේෂයෙන්ම කැපී පෙනුන කාරණය වූයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 20%ක් වත් භාවිතා නොවීමයි.
 නමුත් තෙවන ධූරකාලය එතරම් සාර්ථක එකක් නොවූ අතර රාජපක්ෂ පවුල වෙත දූෂණ චෝදනා එල්ල වීම ඉතා ප්‍රබල ලෙස සිදු විය. අංකුර වශයෙන් විපක්ෂ දේශපාලනය හිස ඔසවමින් තිබූ අතර එය මර්දනයට ඉතා දැඩි ලෙස මිලිටරි යාන්ත්‍රණය යොදා ගැනීම තුළ රාජ්‍ය පාලනයේ පීඩනය සාමාන්‍ය සමාජය මත ඉතා ප්‍රබලව දැනෙන්නට ගත් යුගයක් ලෙස මෙය සැළකිය හැකිය. ආර්ථික කළමනාකරණය සම්බන්ධ ගැටළු පැන නැගුණු අතර දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම වැනි ගැටළු නිසා අන්ත පීඩනයකට ඇද දැමූ සමයක් විය. මේ තුළ ශ්‍රී ලංකා දේශපාලනය නොසන්සුන් වීම ආරම්භ විය.
තම තෙවන ධූරකාලයෙන් පසු වියපත්ව සිටි මහින්ද රාජපක්ෂ බලයෙන් සමුගැනීමට තිරනය කළ අතර ඒ සමග රාජපක්ෂ පවුල තුලින්ම අර්බුද ඇති වීමට ආරම්භ විය. එවකට අගමැති ධූරය දැරූ බැසිල් රාජපක්ෂ මහතාට( මහින්ද රාජපක්ෂගේ සොයුරු) ජනාධිපති ධූරයට පත් වීමට අවශ්‍ය වූ අතර මහින්ද රාජපක්ෂගේ අරමුණ වූයේ එහි අනුප්‍රාප්තිකයා ලෙස සිය වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ පත් කිරීමටයි. විශේෂයෙන්ම ඒ වන විට ආරක්ෂක ලේකම් යන තනතුර යටතේ රටේ කැබිනට් මණ්ඩලය සතු විය යුතු කාර්යයන් බලතල විශාල ප්‍රමාණයක් හසුරවමින් සිටි ගොඨාභය රාජපක්ෂ( මහින්දගේ තවත් සොයුරෙකි) ද නාමල් රාජපක්ෂ හට පක්ෂපාතී වීම නිසා බැසිල් රාජපක්ෂ හට සිය අරමුනට ළගා වීමට නොහැකි විය. මෙම බල අරගලයේ දී මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයේ සිටම සුළු සුළු විරසකයන් පැවති චමල් රාජපක්ෂ (මහින්දගේ වැඩිමහල් සොයුරු) පවුල බැසිල් පාර්ශවය ගත් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ සෘජුවම බැසිල් වෙනුවෙන් පෙනී සිටියේ ය. එහෙත් මෙම බල අරගලය කෙසේ හෝ සමනය කිරීමට මහින්ද සමත් වූ අතර බැසිල් වෙනුවෙන් පෙනී සිටි බිම් මට්ටමේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් හමුදා අත්අඩංගුවට ද පත් විය.
ඒ අනුව නාමල් රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ අතර එම මැතිවරනය ඉතා දරුණු ලෙස ප්‍රචණ්ඩත්වය රජ කළ එකක් විය. මේ සදහා විපක්ෂව ප්‍රබල එක් අපේක්ෂකයෙකු තරග වැදීම වෙනුවට සමාන මට්ටමේ අපේක්ෂකයන් කිහිපදෙනෙකු තරග වැදීම සිදු විය. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉතාමත්ම පහත් එකක් වූ අතර ලේ වැගිරීම්වලින් සමස්ත මැතිවරණ ව්‍යාපාරයම කෙළෙසී තිබුණි. ඔහුගේ පාලන සමය තුළ මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව ඉතා විශාල වශයෙන් ජනතා අසහනය ඇති වූ යුගයක් වූ අතර මිලිටරි යාන්ත්‍රණය ජනතාව මත අසාමාන්‍ය පීඩනයක් ඇති කලේය. මහින්ද වෙත තිබූ කපටි දේශපාලන බුද්ධිය නාමල් වෙත පිහිටා නොතිබුණි.මෙලෙස උණුසුමි වූ ශ්‍රී ලංකා දේශපාලනය එම පීඩනය වියරු ලෙස ප්‍රකාශ වීමට ගත් අතර දුප්පත්කම, විරැකියාව, දූෂණය හා වංචාව එයට හේතු විය. උතුරේ ද්‍රවිඩයන් මෙන්ම දකුණේ සාමාන්‍ය ජනතාවද මහමගට බට අතර මෙම විරෝධතාවල ලක්ෂණය වූයේ සංවිධානාත්මක එක් දේශපාලන බලවේගයක් විසින් එය මෙහෙයවනු වෙනුවට ජනතාව තුළින්ම එය පැන නැගීමයි. මෙය මර්දනය කිරීමට පාලකයන් ගත් උත්සාහයේ දී  විශාල ජීවිත හානියක් සිදු වූ අතර තවත් එවැනිම පිරිසක් හමුදා අත්අඩංගුවට පත් විය.
මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර බලපෑම් මත නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමට තීරණය කළේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාලනය ගෙන යනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් පත් කරනු ලැබූ භාරකාර රජයක් මගිනි."

Monday, January 3, 2011

මාතෘ භූමිය

මාතෘ භූමිය කියන්නේ දේශපාලනඥයන්ට මෑතකාලෙ දි අහුවුණ මාර වචනයක්. පපුව ඉස්සරහට දාල මහ හයියෙන් මහ රජා ඔහොම කියද්දි දේශද්‍රෝහී හතුරන්ගෙ රෙද්ද පල්ලෙන් හුජ්ජ බේරෙන්නෙ බලා ඉදිද්දි.
විමල් සහෝදරය තමයි ඕක මුලින්ම මාර්කට් කලේ. ඒ කාලේ ජේ වි පී සහෝදරවරු විමල් කියන්නෙ දෙවියෙක් කියල විශ්වාස කරගෙන මිනිහහගෙ රන් කිරි කටගෑවෙ දේව සභාව මැද මහා සැණකෙළියකදි( හරියට හෙට අනිද්ද මොනරාගල මහ රජා තියන්න යනව වගේ එකකදි) කියලනෙ හිතා ගෙන හිටියෙ. ඉතින් මිනිහගෙ මේ වචනෙ නම් මාරයි කියල පක්ෂෙ කට්ටිය මාර ආතල් එකේ හිටියෙ.
ඒ දවස්වල විමල්ගෙ රැස්වීම්වලට හෝ ගාල සෙනග. මාතෘ භූමිය...............
චන්ද ගානකම විමල් මාර විදියට මේක මාකට් කලේ. මහින්දගෙ පළවෙනි චන්දෙදි විමල් ගිරිය කඩාගෙන මේක කියකිය කෑගැහුවෙ.
අම්මට සිරි අපේ රජා දක්සය. බලාගෙන හිටිය විමල මල්ලිගෙ ටෝක් එක. වැඩිපුරම කියවෙන්නෙ මාතෘ භූමිය. අල්ල ගත්ත වචනෙ. දැන් ඉතින් මහ රජ මොන රෙද්ද කියන්න ගියත් අතර මැදින් ලුනු ඇඹුල් වගේ දානව මාතෘ භූමිය.
විමල් මල්ලි ඇමති වුණා. නිවාස ඇමති වෙල මේ වචන දාද්දි පොඩ්ඩක් ගැළපෙන්නෙ නෑ වගේ. පවු අසරණය.
නගර සභා මන්ත්‍රිවරු අලුතින් ලැට් එකක් විවෘත කළත් දාන්න ගත්ත මාතෘ භූමිය. නියමෙට කියවෙනව. මාර ගැම්මක් එන්නෙ!
කැළණියෙ ගැමුණුත් මේ වචනෙ දාන්න ගත්ත. කරන තරමක් සක්කිලි වැඩ කරල දානව මාතෘ භූමිය පෙරටම. ගස් බදින්නෙ ඕක කිය කිය.
ඔටුන්න හිමි නාමල් රජ කුමරු තමයි දැන් මේක වැඩිපුරම දාන්නෙ. අනේ ඉතින් අපේ රජ පැටියට තරම් මාතෘ භූමිය ගැන කැක්කුමක් තියෙන්නෙ කාටද? අපෙ දෙයිය! බලන්න ඕන කියන ලස්සන. හරි හුරතල්.
මුන් කිසි බයක් හැකක් නැතිව මාතෘ භූමිය කියකිය දගලන්නෙ අපේ මාතෘ භූමිය මුන්ට ඕන හැටියට ඕන දෙයක් කරගන්න කියල ලියල ම දුන්නු අම්මගෙ අප්පගෙ බූදලයක් කියල හිතාගෙන.

අනේ අපේ හීනයට කොයිතරම් තව දුරද??????

 

රත්න සිරි උතුමා උදහස් වී තිබේ. ඒකට හේතුව වි ඇත්තේ මේ ආන්ඩුවට සැලසුමක් නැති විමයි. ජේෂ්ඨ ඇමතිවරුන්ට ඉන්න තැනක් නැත. කරන්න වැඩක් නැත. මේ නිසා මේ ආණ්ඩුවට සැලසුමක් නැති බවට රත්නසිරි උතුමා විප්ලවීය ලෙස අදහස් පළ කර ඇත. එහෙම බැලුවහම එතුමා තරම් රියල් අවංක එළ පපුවක් ඇති නායකයෙක් නැත.
 අනේ අම්මේ!!!!
රත්නසිරි යනු කුමක් කළ ඇති මිනිහෙක් ද? රත්නසිරි අගමැති වූයේ රටට කර ඇති අතිදැවැන්ත මෙහෙය නිසා ද? නැත්නම් රත්නසිරි නම් ජාතිය ඉල්ලා සිටි නායකයා දැයේ පිනට පහළ වූ නිසා හොරණ ජනතාව ඇතුළු සමස්ත රටට ම ඔහු නොලදොත් මිය යන බවට උපවාස කළාද?
සිරිමාවෝ ගේ මරණයෙන් පසු රත්නසිරි අගමැති බවට චන්ද්‍රකා දාගත්තේ රත්නසිරි යනු කවදාවත් අනාගතයක් ඇති දේශපාලඥයෙකු නොවන නිසාත් ඔහු එහෙයි මැඩම් කියාගෙන කියන ඕනෑම වැඩක්( යට ඇ‍‍‍‍දුමක් උවත් කිව් සැනින් හෝදන්න‍ට සූදානම්) නියම හෙංචයියෙක් නිසාය. මන්ද යත් එදා මහින්ද වැනි කයිරාටිකයෙකු අගමැති කලා නම් චන්ද්‍රකාට උන්හිටි තැනුත් නැතිවන බව මැඩම් දැන සිටියාය. ප්‍රේමදාස ඩි බී මහත්තයා අගමැති කලේ ද මේ නිසාය.
ඉතින් පූරුවේ පිනකට රත්නසිරි අගමැති විය. 2001 දී රත්නසිරි පැරදුනා පමණක් නොව හොරණත් පරාදය. ඔහොම යද්දි ජේ වී පී නුල් සූස්තර නිසා 2004 චන්ද්‍රකා බලය ලබා ගත් අතර ඒ වෙද්දි රත්නසිරි පාර්ලිමේන්තුවේ නැත. අගමැති දෙන්නට චන්ද්‍රකා සොයන මොඩලයේ කෙනෙක් නැත. මේ අතර කදිරගාමර් නැමැති විශිෂ්ට දෙමළ නායකයා මෙයට නම් වන අතර කොහොම හෝ ලොකු ගේමකින් පසු විපක්ෂ නායකව සිටි මහින්ද අගමැති විය. එදා අගමැති නොවුනි නම් අද මහින්දට ඇඩ්රස් ද නැත.
2005 මහින්ද ජනාධිපති වූ පසු මුලින් අගමැති අපේක්ෂකයා වූ අනුර මහින්ද ට වැඩ කලේ නැති නිසා අගමැති කම දෙන්නට වෙන කෙනෙකු සොයන විට එවකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනවිත් තිබූ රත්නසිරිට මහින්ද අගමැතිකම දෙන්නේ මේ යකා අවුල් ගියත් තමන්ට අරින්නට තරම් පණ ඇති එකෙකු නොවන නිසාය.
නැවතත් රත්නසිරිගේ වාසනාව කැරකුනි. මේ අතර දි මු ලොක්කා නාහෙන් අඩන්නට ගත්තේය. නොගිය පන්සලක් නැත. නොකිව් නායක හාමුදුරු කනෙක් නැත. අනේ මට මැරෙන්න කලින් අගමැති වෙන්න ඕන!!!!
දි මූ අගමැති විය. රත්නසිරි පල්ලම් බැහීම පටන් ගත්තේ ය.
අද රත්නසිරි කෑගහන්නේ තමන් කවුද යන්න නොදැනය. අනෙක රත්නසිරි වැනි පින්බත් ගිලින රටේ දේශපාලනඥයන් සමස්තයක විලිලැජ්ජා නැතිකම ද රත්නසිරිගේ උඩ පැනීමෙන් අමු අමුවේ එළියට පැන ඇත. එනම් මහින්දගේ ආන්ඩුව තමන්ට කටු ලොවින්නට දෙන තෙක් එය රත්තරන්ය. මොන දහජරා වැඩක් කළත් එය රකියි. තවත් ආකාරයකට කිවහොත් මහින්දගේ අසූවි වුවත් මහදවල් මහ සන්දර්ශන පවත්වා රසකර කෑමට එක පයින් සූදානම්ය. නමුත් තමන් වාසි නොවන විට ................
සිරසට මේවා නිවුස් වුවත් මේ තුළ රෙදි නැතිව කරලියට එන්නේ අපේ දේශපාලනයේ පිලිකුල් සහගත යතාර්ථයයි. දැන් රත්නසිරි යු ඇන් පි ආන්ඩුවක් තමන්ගේ හුස්ම නවතින්ට පෙර එනකල් බලා සිටි. ඒ ‍විගහට පනින්නටය. යු ඇන් පි යත් එදාට මිනිහා ගනු ඇත. ගාල්ලේ පියසේනකාරයාද ජේෂ්ඨ ඇමැතිකමක් ලැබීමෙන් තව හොරකම් කිරීමට නොහැකි වීමෙන් උදහස් වී සිටියද ගලේ රීපු බලළා මෙන් සිටින්නේ යු ඇන් පී ය බලවත් වූ ගමන් පැනීමටය. ඌ කොයිතරම් ජඩයෙකු වුවත් එදාට සජිත් වුවත් රනිල් වුවත් කරපිට තබා පියසේන තමන් වෙත ගනු ඇත. එදාට ගමේ උපන් දා සිට ශ්‍රී ලංකා වූ අහිංසකයන් බනිනු ඇත. උපන් දා සිට යූ ඇන් පී වූ අය පුදනු ඇත.
අනේ අපේ හීනයට කොයිතරම් තව දුරද??????