Tuesday, August 2, 2011

පළාත් සභා හා උතුර

රජය ඉතාමත්ම දැවැන්ත උත්සාහයක් දරාවත් උතුරේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට තබා සැළකිය යුතු සාර්ථකත්වයක්වත් උතුරේ ඡන්දයෙන් ලබා ගැනීමට අසමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අනාගත හැසිරීම පිළිබද පෙරමං කීමක් පෙන්නුම් කෙරේ. යුද්ධය අවසාන වීමෙන් පසුව දේශපාලන විසදුම යන්න හුදු කල්මැරීම සදහා භාවිතා කරන උපාය මාර්ගයක් බවට පත් කරගත් රජය ඒ තුළින් තමන් පවතින තත්ත්වය ඉතා සාර්ථකව කළමණකරණය කරන බවට වන සිතුවිල්ලෙන් තේජස් වී සිටින බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එය ඉතාමත් හොදින් පැහැදිලි වන්නේ චන්ද්‍රකා රජය සමයේ හෝ රනිල් ගේ දෙවසර තුළ හෝ දේශපාලන විසදුමක් සදහා රජය සූදානම් වේය යන්න සමාජයේ අවධානය දිනා ගැනිමට සමත් වූ ආකාරයත් අද වන විට දේශපාලන විසදුමක් සදහා රජය සූදානම් වේය යන්නට මාධ්‍ය හෝ සිවිල් සමාජය හෝ සංවේදී වන ආකාරය අනුවය. ඒ අනුව එකවර ඉඩම් හා පොලිස් බලතල දිය යුතුයි යනුවෙන් තර්කයක් මතුවේ. ඒ සමග මම මැරුණත් එවැන්නක් නොකරනවා අපේ හාමුදුරුවනේ යනුවෙන් ගාම්භීර ස්වරය මතුවේ.
නමුත් අප මුලින් ම අවබෝධ කරගත යුතු කාරණය වන්නේ ද්‍රවිඩ ජනතාවට සැබෑ දේශපාලන ප්‍රශ්නයක් පවතින බවයි. යුධ ජයග්‍රහණයත් සමග ඔද වැඩුණු දකුණ අද වන විට දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්නයක් නොමැත යන තැන දක්වා පල්ලම් බැස ඇති බව ඉතා සියුම්ව නිරික්ෂනය කිරීමේදී පෙනී යයි. මෙය ඉතාමත් භයානක මෙන්ම ශෝචනීය අනාගතයක් පිළිබද පෙරමග ලකුණකි.
මීලග කරුණ වන්නේ මෙරට බලය බෙදාහරිමින් උතුරු නැගෙනහිර අර්බුදය සදහා මේ වන විට ලබා ගත් ව්‍යවස්ථාමය පියවරක් ලෙස පළාත් සභා ක්‍රමය වර්තමානය වන විට ස්ථාපිතව තිබීමයි. පසුගිය දා විමල් වීරවංශ ඇමතිතුමා ලංකාදීප ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකදී කියා තිබුණේ දැන් අප උත්සාහ ගත යුත්තේ 13න් මෙහාට යාමට බවයි. නමුත් එය ප්‍රායෝගික ද සහ 13 හරහා ගොඩනැගුණු තත්ත්වය ඇත්තෙන්ම කුමන ස්වරූපයක් ගනීද යන්න රටේ දේශපානය සංදර්භය තුළ මීට වඩා සාකච්ඡා විය යුතුය.
පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු වී ඇති බව අද වන විට ගොඩනැගි ඇති මතයයි. එම නිසා 13න් ඔබ්බට බලය බෙදාහැරිය යුතු බවට තර්කයක් මතුවී ඇත. නමුත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමේ සැබෑ ස්වරූපයක අප මෙතෙක් දැක නොමැත. ඒ මන්ද යත් උතුරේ පළාත් සභාව අද වන තෙක් ක්‍රියාත්මක නොවුණු බැවිනි. නමුත් අනාගතයේදි උතුර සදහා පළාත් සභා මැතිවරණයක් නිදහස්ව හා සාධාරණව පැවතුණහොත් එය අනිවාර්යයෙන්ම ද්‍රවිඩ සන්ධානයේ බලයට නතු වන බව නියතය. පළාත් පාලන මැතිවරණය දෙස් දෙන්නේ ඒ සදහායි. එම නිසා මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොළඹ මහ නගර සභාවට මැතිවරණ නොපවත්වනවා මෙන් උතුරු පලාත් සභා මැතිවරණය ද නොපවත්වා තවදුරටත් උතුරු පලාත් පරිපාලන දේශපාලනික හැසිරවීම මිලිටරි යාන්ත්‍රණය හරහාම කරගෙන යෑමට කටයුතු සූදානම් කරනු ඇත.
නමුත් මේ තත්ත්වය ඉතාමත්ම අදූරදර්ශි එකක් වන අතර දකුණට සැබැවින්ම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබද වුවමනාවක් පවතී නම් කළ යුතු ප්‍රථම රාජකාරීය වන්නේ උතුරේ හමුදා යාන්ත්‍රණය බැරැක්ක හා කදවුරු තුළට සීමා කරමින් සිවිල් පරිපාලන යාන්ත්‍රනය නැවත ශක්තිමත් කිරීමයි. ඉන් අනතුරුව උතුරු පළාත සදහා පළාත් සභා මැතිවරණය පවත්වා එම පත්වන පළාත් සභාවට ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමයි.
උතුරු පළාත සදහා පළාත් සභාවක් ක්‍රියාත්මක වුවහොත් එය මධ්‍යම රජයේ බලය දරන පක්ෂයෙන් ස්වාධින නම් අනිවාර්යයෙන් ම අධිකරණය හරහා විධිමත් කළ යුතු ගැටලු රාශියක් පැන නගිනු ඇත. ඒ මන්ද යත් 13 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ අටවා ඇති එකක් නිසා එහි ඇති අපැහැදිලිතා විශාල වශයෙන් මධ්‍යම රජයේ බලය දරන කණ්ඩායමට නතු නොවන පක්ෂයක් පළාත් සභාවේ බලය ලබා ගැනීම තුළ මතුවනු ඇත. එවිට අධිකරණයට බලය බෙදාහැරීමට පක්ෂපාතී දෘෂ්ටියක සිට එම ගැටලු විසදීම තුල පළාත් සභා ක්‍රමයට අර්ථයක් ලබා දිය හැකිය. මෑතකාලීනව අධිකරණය එවැනි නැඹුරුතාවයක් පෙන්නුම් කර ඇති අතර විශේෂයෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ලබා දී ඇති තීරණ ඒ පිළිබද සාක්ෂි සපයයි.
මෙලෙස පළාත් සභා ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම තුළ මතුවන ඊළග ගැටලුව වන්නේ පලාත් සභා සදහා ඉඩම් හා පොලිස් බලතල ලබා දිය යුතුද නැද්ද යන්නයි.
ඉඩම් බලතල සම්බන්ධව මුලින්ම අවධානය යොමුකළ හොත් කිව හැකි කාරණය වන්නේ 13 වන සංශෝධනය හරහා ඉඩම් බලතල සැබවින්ම බෙදාහැරීමක් කර ඇත්ද යන්න පවා ප්‍රශ්නයක් බවයි. එම නිසා ඉඩම් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් අනිසි බියක් ජනතාව තුළ ඇති නොකිරීමට වගකිව යුතු දේශපාලන නායකයන් සියලු දෙනා පාහේ කටයුතු කළ යුතුය. ඉඩම් යන වචනය දුටු පමණින් අපෝ බෑ බෑ බෑ කියා ගැසීම තුළ අද වන විට ජනතාවද ඒ පිළිබද විශාල චකිතයක් ඇති කර ගෙන ඇත. මෙය හුඹුස් බියක්ම පමණි. නමුත් අද වන විට ඉඩම් විෂය කිසිදු සැලැස්මකින් තොරව පලාත් සභා ලැයිස්තුවට අන්තර්ගත කිරීම තුළ උද්ගතව ඇත්තේ අනවශ්‍ය පරිපාලනමය සංකීර්ණතාවක් පමණි. එම නිසා  පවතින තත්ත්වයෙන් ඉඩම් බලතල ක්‍රියාත්මක කරලීම එලොවටත් නැති මෙලොවටත් නැති ක්‍රියාවකි. ඉදිරි ලිපියකින් මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
පොලිස් බලතල සම්බන්ධව නම් කිව හැකි කාරණය වන්නේ වෙනම රාජ්‍යක් නිර්මාණය කිරීමට මග පාදන ආකාරයේ වෙනම පොලිස් හමුදාවක් නිර්මාණය කිරීමක් 13 තුළින් සිදුවී නොමැති බවයි. නමුත් ඉල්ලන්නන් වාලේ පොලිස් බලතල ඉල්ලීම ඇත්තටම අවශ්‍යද යන්න පිළිබදවද සිතා බැලිය යුතුය. මා දකින ආකාරයට පොලීසිය මෙන්ම රාජ්‍ය සේවයද රාජ්‍ය තාන්ත්‍රික සේවාවද පත් කිරීම මාරු කිරීම් ඉවත් කිරීම් බදවා ගැනීම් සම්බන්ධව ස්වාධීන කේෂ්ත්‍ර විය යුතුය. අද වන විට ලංකාවේ උද්ගතව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ මෙම කේෂ්ත්‍ර ඉතාමත්ම උග්‍ර ලෙස දේශපාලනීකරණය වී තිබීමයි. එය වහාම නිවැරදි විය යුතුය. මෙහි ලා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංකල්පමය වශයෙන් ඉතා ප්‍රශස්ත උත්සාහයක් වුවද එහි තිබූ සුළු සුළු ප්‍රායෝගික ඌණතාවයන් නිසා හොර රහසේම 18 හරහා එම උත්සාහය අක් මුල් ද විනාශ වන පරිදි පසුපසට ගැනීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්ත පරාජයකි.
ඒ අනුව මා දකින පරිද ද්‍රවිඩ ජනතාවට පොලීසිය සම්බන්ධව ඇති ප්‍රධානතම ගැටලුව තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගොස් නිළධාරීන් සමග කටයුතු කිරීමට තිබූ නොහැකියාව හා පොලීසිය විසින් ද්‍රවිඩ ජනතාවට පිටස්තරයන් ලෙස සැළකීමයි. පොලිස් සේවය ස්වාධින එකක් බවට පත් කරලීමත් බදවා ගැනීමේදී හා උතුරට යෙදවීමේදී භාෂා හැකියාව නිර්නායකයක් කර ගැනීමත් තුළ සාමාන්‍ය ජනතාවට පොලීසිය පිළිබදව තිබූ ගැටලුව බොහෝ දුරට සමනය කිරීමට හැකි වනු ඇත. එසේ නොමැතිව පලාතේ පොලිස් හමුදාව මහඇමතිවරයාගේ පාලනයට නතු කිරීම බලය බෙදා හැරීමේ අරමුණු සාධනයටත් යහපාලන අභිමතාර්ථවලටත් කිසිම අනුකූලතාවයක් නොදක්වයි.
මෙකී තත්ත්වය තුළ පළාත් සභා ක්‍රමයට අනවශ්‍ය බාධා කිරීම් නොමැතිව ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම මෙරට දේශපාලන ස්ථාවරත්වයට හා රටේ අනාගත අභිවෘද්ධියට හිතවත් දකුණ විසින් කළ යුත්තයි.
නමුත් මෙකී කිසිදු බලය බෙදා හැරීමේ උත්සාහයක් පවතින ඉතා ප්‍රබල ආසන්න ඒකාධිපති විධායකයත් සමග ප්‍රායෝගික කාරණයක් නොවේ. එම නිසා බලය බෙදා හැරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වයට නම් විධායක ජනාධිපති ක්‍රමය වහා සංශෝධනය විය යුතුය. ආසන්න ඒකාධිපති විධායක ජනාධිපති ධූරයට සංශෝධන ගෙන ඒ මෙන් තොරව මෙකී කිසිදු උතුරට ලබා දෙන විසදුමක් සාර්ථක නොවනු ඇත.