Tuesday, August 2, 2011

පළාත් සභා හා උතුර

රජය ඉතාමත්ම දැවැන්ත උත්සාහයක් දරාවත් උතුරේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට තබා සැළකිය යුතු සාර්ථකත්වයක්වත් උතුරේ ඡන්දයෙන් ලබා ගැනීමට අසමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අනාගත හැසිරීම පිළිබද පෙරමං කීමක් පෙන්නුම් කෙරේ. යුද්ධය අවසාන වීමෙන් පසුව දේශපාලන විසදුම යන්න හුදු කල්මැරීම සදහා භාවිතා කරන උපාය මාර්ගයක් බවට පත් කරගත් රජය ඒ තුළින් තමන් පවතින තත්ත්වය ඉතා සාර්ථකව කළමණකරණය කරන බවට වන සිතුවිල්ලෙන් තේජස් වී සිටින බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එය ඉතාමත් හොදින් පැහැදිලි වන්නේ චන්ද්‍රකා රජය සමයේ හෝ රනිල් ගේ දෙවසර තුළ හෝ දේශපාලන විසදුමක් සදහා රජය සූදානම් වේය යන්න සමාජයේ අවධානය දිනා ගැනිමට සමත් වූ ආකාරයත් අද වන විට දේශපාලන විසදුමක් සදහා රජය සූදානම් වේය යන්නට මාධ්‍ය හෝ සිවිල් සමාජය හෝ සංවේදී වන ආකාරය අනුවය. ඒ අනුව එකවර ඉඩම් හා පොලිස් බලතල දිය යුතුයි යනුවෙන් තර්කයක් මතුවේ. ඒ සමග මම මැරුණත් එවැන්නක් නොකරනවා අපේ හාමුදුරුවනේ යනුවෙන් ගාම්භීර ස්වරය මතුවේ.
නමුත් අප මුලින් ම අවබෝධ කරගත යුතු කාරණය වන්නේ ද්‍රවිඩ ජනතාවට සැබෑ දේශපාලන ප්‍රශ්නයක් පවතින බවයි. යුධ ජයග්‍රහණයත් සමග ඔද වැඩුණු දකුණ අද වන විට දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්නයක් නොමැත යන තැන දක්වා පල්ලම් බැස ඇති බව ඉතා සියුම්ව නිරික්ෂනය කිරීමේදී පෙනී යයි. මෙය ඉතාමත් භයානක මෙන්ම ශෝචනීය අනාගතයක් පිළිබද පෙරමග ලකුණකි.
මීලග කරුණ වන්නේ මෙරට බලය බෙදාහරිමින් උතුරු නැගෙනහිර අර්බුදය සදහා මේ වන විට ලබා ගත් ව්‍යවස්ථාමය පියවරක් ලෙස පළාත් සභා ක්‍රමය වර්තමානය වන විට ස්ථාපිතව තිබීමයි. පසුගිය දා විමල් වීරවංශ ඇමතිතුමා ලංකාදීප ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකදී කියා තිබුණේ දැන් අප උත්සාහ ගත යුත්තේ 13න් මෙහාට යාමට බවයි. නමුත් එය ප්‍රායෝගික ද සහ 13 හරහා ගොඩනැගුණු තත්ත්වය ඇත්තෙන්ම කුමන ස්වරූපයක් ගනීද යන්න රටේ දේශපානය සංදර්භය තුළ මීට වඩා සාකච්ඡා විය යුතුය.
පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු වී ඇති බව අද වන විට ගොඩනැගි ඇති මතයයි. එම නිසා 13න් ඔබ්බට බලය බෙදාහැරිය යුතු බවට තර්කයක් මතුවී ඇත. නමුත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමේ සැබෑ ස්වරූපයක අප මෙතෙක් දැක නොමැත. ඒ මන්ද යත් උතුරේ පළාත් සභාව අද වන තෙක් ක්‍රියාත්මක නොවුණු බැවිනි. නමුත් අනාගතයේදි උතුර සදහා පළාත් සභා මැතිවරණයක් නිදහස්ව හා සාධාරණව පැවතුණහොත් එය අනිවාර්යයෙන්ම ද්‍රවිඩ සන්ධානයේ බලයට නතු වන බව නියතය. පළාත් පාලන මැතිවරණය දෙස් දෙන්නේ ඒ සදහායි. එම නිසා මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොළඹ මහ නගර සභාවට මැතිවරණ නොපවත්වනවා මෙන් උතුරු පලාත් සභා මැතිවරණය ද නොපවත්වා තවදුරටත් උතුරු පලාත් පරිපාලන දේශපාලනික හැසිරවීම මිලිටරි යාන්ත්‍රණය හරහාම කරගෙන යෑමට කටයුතු සූදානම් කරනු ඇත.
නමුත් මේ තත්ත්වය ඉතාමත්ම අදූරදර්ශි එකක් වන අතර දකුණට සැබැවින්ම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබද වුවමනාවක් පවතී නම් කළ යුතු ප්‍රථම රාජකාරීය වන්නේ උතුරේ හමුදා යාන්ත්‍රණය බැරැක්ක හා කදවුරු තුළට සීමා කරමින් සිවිල් පරිපාලන යාන්ත්‍රනය නැවත ශක්තිමත් කිරීමයි. ඉන් අනතුරුව උතුරු පළාත සදහා පළාත් සභා මැතිවරණය පවත්වා එම පත්වන පළාත් සභාවට ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමයි.
උතුරු පළාත සදහා පළාත් සභාවක් ක්‍රියාත්මක වුවහොත් එය මධ්‍යම රජයේ බලය දරන පක්ෂයෙන් ස්වාධින නම් අනිවාර්යයෙන් ම අධිකරණය හරහා විධිමත් කළ යුතු ගැටලු රාශියක් පැන නගිනු ඇත. ඒ මන්ද යත් 13 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ අටවා ඇති එකක් නිසා එහි ඇති අපැහැදිලිතා විශාල වශයෙන් මධ්‍යම රජයේ බලය දරන කණ්ඩායමට නතු නොවන පක්ෂයක් පළාත් සභාවේ බලය ලබා ගැනීම තුළ මතුවනු ඇත. එවිට අධිකරණයට බලය බෙදාහැරීමට පක්ෂපාතී දෘෂ්ටියක සිට එම ගැටලු විසදීම තුල පළාත් සභා ක්‍රමයට අර්ථයක් ලබා දිය හැකිය. මෑතකාලීනව අධිකරණය එවැනි නැඹුරුතාවයක් පෙන්නුම් කර ඇති අතර විශේෂයෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ලබා දී ඇති තීරණ ඒ පිළිබද සාක්ෂි සපයයි.
මෙලෙස පළාත් සභා ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම තුළ මතුවන ඊළග ගැටලුව වන්නේ පලාත් සභා සදහා ඉඩම් හා පොලිස් බලතල ලබා දිය යුතුද නැද්ද යන්නයි.
ඉඩම් බලතල සම්බන්ධව මුලින්ම අවධානය යොමුකළ හොත් කිව හැකි කාරණය වන්නේ 13 වන සංශෝධනය හරහා ඉඩම් බලතල සැබවින්ම බෙදාහැරීමක් කර ඇත්ද යන්න පවා ප්‍රශ්නයක් බවයි. එම නිසා ඉඩම් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් අනිසි බියක් ජනතාව තුළ ඇති නොකිරීමට වගකිව යුතු දේශපාලන නායකයන් සියලු දෙනා පාහේ කටයුතු කළ යුතුය. ඉඩම් යන වචනය දුටු පමණින් අපෝ බෑ බෑ බෑ කියා ගැසීම තුළ අද වන විට ජනතාවද ඒ පිළිබද විශාල චකිතයක් ඇති කර ගෙන ඇත. මෙය හුඹුස් බියක්ම පමණි. නමුත් අද වන විට ඉඩම් විෂය කිසිදු සැලැස්මකින් තොරව පලාත් සභා ලැයිස්තුවට අන්තර්ගත කිරීම තුළ උද්ගතව ඇත්තේ අනවශ්‍ය පරිපාලනමය සංකීර්ණතාවක් පමණි. එම නිසා  පවතින තත්ත්වයෙන් ඉඩම් බලතල ක්‍රියාත්මක කරලීම එලොවටත් නැති මෙලොවටත් නැති ක්‍රියාවකි. ඉදිරි ලිපියකින් මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
පොලිස් බලතල සම්බන්ධව නම් කිව හැකි කාරණය වන්නේ වෙනම රාජ්‍යක් නිර්මාණය කිරීමට මග පාදන ආකාරයේ වෙනම පොලිස් හමුදාවක් නිර්මාණය කිරීමක් 13 තුළින් සිදුවී නොමැති බවයි. නමුත් ඉල්ලන්නන් වාලේ පොලිස් බලතල ඉල්ලීම ඇත්තටම අවශ්‍යද යන්න පිළිබදවද සිතා බැලිය යුතුය. මා දකින ආකාරයට පොලීසිය මෙන්ම රාජ්‍ය සේවයද රාජ්‍ය තාන්ත්‍රික සේවාවද පත් කිරීම මාරු කිරීම් ඉවත් කිරීම් බදවා ගැනීම් සම්බන්ධව ස්වාධීන කේෂ්ත්‍ර විය යුතුය. අද වන විට ලංකාවේ උද්ගතව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ මෙම කේෂ්ත්‍ර ඉතාමත්ම උග්‍ර ලෙස දේශපාලනීකරණය වී තිබීමයි. එය වහාම නිවැරදි විය යුතුය. මෙහි ලා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංකල්පමය වශයෙන් ඉතා ප්‍රශස්ත උත්සාහයක් වුවද එහි තිබූ සුළු සුළු ප්‍රායෝගික ඌණතාවයන් නිසා හොර රහසේම 18 හරහා එම උත්සාහය අක් මුල් ද විනාශ වන පරිදි පසුපසට ගැනීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්ත පරාජයකි.
ඒ අනුව මා දකින පරිද ද්‍රවිඩ ජනතාවට පොලීසිය සම්බන්ධව ඇති ප්‍රධානතම ගැටලුව තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගොස් නිළධාරීන් සමග කටයුතු කිරීමට තිබූ නොහැකියාව හා පොලීසිය විසින් ද්‍රවිඩ ජනතාවට පිටස්තරයන් ලෙස සැළකීමයි. පොලිස් සේවය ස්වාධින එකක් බවට පත් කරලීමත් බදවා ගැනීමේදී හා උතුරට යෙදවීමේදී භාෂා හැකියාව නිර්නායකයක් කර ගැනීමත් තුළ සාමාන්‍ය ජනතාවට පොලීසිය පිළිබදව තිබූ ගැටලුව බොහෝ දුරට සමනය කිරීමට හැකි වනු ඇත. එසේ නොමැතිව පලාතේ පොලිස් හමුදාව මහඇමතිවරයාගේ පාලනයට නතු කිරීම බලය බෙදා හැරීමේ අරමුණු සාධනයටත් යහපාලන අභිමතාර්ථවලටත් කිසිම අනුකූලතාවයක් නොදක්වයි.
මෙකී තත්ත්වය තුළ පළාත් සභා ක්‍රමයට අනවශ්‍ය බාධා කිරීම් නොමැතිව ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම මෙරට දේශපාලන ස්ථාවරත්වයට හා රටේ අනාගත අභිවෘද්ධියට හිතවත් දකුණ විසින් කළ යුත්තයි.
නමුත් මෙකී කිසිදු බලය බෙදා හැරීමේ උත්සාහයක් පවතින ඉතා ප්‍රබල ආසන්න ඒකාධිපති විධායකයත් සමග ප්‍රායෝගික කාරණයක් නොවේ. එම නිසා බලය බෙදා හැරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වයට නම් විධායක ජනාධිපති ක්‍රමය වහා සංශෝධනය විය යුතුය. ආසන්න ඒකාධිපති විධායක ජනාධිපති ධූරයට සංශෝධන ගෙන ඒ මෙන් තොරව මෙකී කිසිදු උතුරට ලබා දෙන විසදුමක් සාර්ථක නොවනු ඇත.

Friday, July 22, 2011

මගේ රට

අද වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් සම්මතය නම් දේශපානේ නැතුව මුකුත් බෑ යන්නයි. ඒ අනුව පොලීසියකට යන්නට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නට පමණක් නොව සියලුම කාරණා සම්බන්ධව  හරියට කොරගන්න නම් දේශපාලනඥයන්ගේ පශ්චාත් ප්‍රෙද්ශය ඉඹින්නට වීම සාමාන්‍යය. වෙනත් ආකාරයකට කිවහොත් විකෘති වූ ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් මතින් බිහිවු දූෂිත ක්‍රමය විසින් සමස්ත සමාජයේම සකල විධ කටයුතු පාලනය කිරීම සිදු විමයි. එදා මෙදාතුර රජයේ රැකිය උසස් වීම් පත්වීම් සිදු වූයේ ද සිදු වන්නේ ද දේශපානඥයන්ගේ දුර්ධාන්ත හස්තය හරහාය. පසුගිය දා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය සැබවින්ම යොමු වී තිබුණේ උගත්කමට ලැබිය යුතු වටිනාකම ලබා ගැනීමටය. විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙකු වීමට තබා උපාධිධාරියෙකු වීමට කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වැනි උග්‍ර ප්‍රයත්නයක යෙදිය යුතුය. සාමාන්‍ය උපාධිධාරියෙකු වීම උස්සපෙළින් විශ්ව විද්‍යාලයට එන්නෙකුට පහසු වුවත් උස්සපෙළ සමත් වීම පූර්ව ජන්මගත පින්කමක් නිසා නොවන්නට එතරම් පහසු නැත. මෙය අදාළ වන්නේ අව්වේ පින්නේ වැස්සේ නැහෙන බඩට නොකා දරුවන් තුළින් අනාගතයක් දකින දුප්පතාගේ පුතාට පමණි. නමුත් පවතින ක්‍රමය තුල පැවැත්මක් තහවුරු කර ගැනීමට හැකියාව උගත්කම නොව කොන්ද කඩා කුඩු කර දේශපාලන බල්ලන්ට රසවත් මස් කට්ටක් ලෙස සූප්පු කිරීමට දිය යුතුය.
ඒ අනුව මෙරට සමාජ ස්ථරයක් ලෙස දේශපානය හරහා ධනය එකතු කර ගන්නා ඒ මත යැපෙන පිරිසක් බිහිවී ඇත. හෘදය සාක්ෂිය මුදලට විකුණු අලුතින් පර්මිට් කාර් එකක් අලුතින් රජයේ තනතුරක් වෙනුවෙන් 18 හොදයි කියන්නට පෙරට එන විශ්ව විද්‍යාල ආචාර්යවරයා සිට ගමේ පාරවල් ටික ප්‍රෙද්ශීය දේශපානඥයා සමග එකතු වී කොන්ක්‍රීට් කිරිමෙන් කුට්ටි කඩා ගෙන ජීවත් වන මිනිසුන් දක්වා මැරයන් කුඩුකාරයන් ගණිකා නිවාස පාලිකාවන් පමණක් නොව මහා දැවැන්ත ව්‍යාපාරිකයන් දක්වා අයත් වන්නේ මේ කුලකයටයි.
ඒ නිසා අද වන විට සමාජ ස්ථර අතර ඉහළට යන්නට ඇති එකම ඉනිමග දේශපානය තක්කඩිකම බව සියලු ජනතාව වෙත  එන්නත් වී අවසානය. තාරුණ්‍යය යනු අයුක්තියට අසාධාරණයට එරෙහි වන ඉක්මනින් රත්වන ලේ ඇති කොටසයි. නමුත් කිසි හිරිකිතයක් නොමැතිව ශිෂ්‍ය සභාවේ සභාපති වී සිරිකොතට හෝ නාමල්ට කඩේ යන්නට සිහින මවන සරසවි ශිෂ්‍යයා, උසස් පෙළ සමත් වුණත් විශ්ව විද්‍යාලයේ යෑමට ලකුණු මදිවූ සිරසේනගේ කොල්ලා, උපාධිය ගත්තත් දැන් ගෙදරටම වී  අවුරුදු පහක් විතර වන උපාධිධාරිය ඇතුළු තරුණයා නියෝජනය කරන සියලුම කුලකයන් මේ අමිහිරි යථාර්ථයට ඒ පිළිබද කිසිදු සංවේදී බවක් ඇතුව හෝ නැතුව  හැඩ ගැසී ඇත.
ඒ අනුව පසුගිය දා ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඩලස් ලොකු කතා කියා විශාල ප්‍රසිද්ධියක් දී පැවැත්වූ යොවුන් පාර්ලිමේන්තු ඡන්ද හා එහි මන්ත්‍ර වූවන් තුළින් ද කැඩපතක් සේ පිළීබිඹු වන්නේ ඒ පිළිකුල් සහගත ඇත්තමය. දේශපානය කළ යුතුය නැත්නම් පැවැත්මක් අනාගතයක් නැත සිතූ තරුණයන් ටිකක් මෙයට අයදුම් කළහ. ඒ අනුව ප්‍රෙද්ශයේ තරුණ කටයුතු නිළධාරීයා අල්ලා ගෙන ටියුෂන් පන්ති පිටින් යෞවන සමාජ ලෙස ලියාපදිංචි කර ඡන්ද මිටි පිටින් හොර හොරා දාගෙන මන්ත්‍රි වීමට මේ අය උත්සාහ කළ බව අසන්නට ඇත. අනාගත නායකයන් නියම පාරේ යනවා කියන්නට එය ඉතා අගනා සාක්ෂියකි. ඉන්පසු මංගල රැස්වීම තියන්නට යොවුන් පාර්ලිමේන්තුවට මාස හය හතක් බලා සිටින්නට විය. මහින්ද මෙයට විරුද්ධ වූ බවද අසන්නට ඇත. ඒ ප්‍රෙද්ශීය දේශපානඥයන් තමන්ගේ පුතාලා මුණුපුරාලාට හිමි තැනට එක එක අහින කඩයෝ රිංගීමෙන් තර්ජනයක් වනු ඇතයි මහින්දට මැසිවිලි කිව් නිසාය. ඉන්පසු මන්ත්‍රි වූ අය මන්ද බුද්ධිකයන් ලෙස තරුණ සේවා සභා භූමියේ රංගනයේ යෙදුණි. මම අහවල් ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් උඹල මට ඇමති වෙන්න උදව් කරපන් ආදී ලෙස පමණක් නොව යොවුන් අගමැති වීමේ බලාපොරොත්තුවෙන් කාර් එකක් කරකව මම නාමල්ගේ ලේකම් කෙනෙක් මම තමයි අගමැති කී අය ද සටියහ. මේ අතර හම්බන්තොටින් ආ අයෙක් සජිත් ලෙස අැද ගෙන ඔහු ලෙස කතා කරමින් හැසිරුණි. මේ පිරිස වට කරගෙන නාමල්ගේ ගෝලයන් වන ලලිත් පියුම්ලා පමණක් නොව ඔහුගේද ගොලයෙකු වන උදුල ලා වීරයන් වූයේය. මේ උදුල සමග විප්ලවවාදී ධම්ම සර්ද වාඩිවී සිටිනු දක්නට ලැබීම පුදුමයට කාරණයක් නොවුණි.

Friday, July 8, 2011

සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.

සංගක්කාර ලෝඩ්ස් හි කළ ප්‍රකාශය පිළිබද ගින්නක් ඇවිලෙමින් ඇති නිසා ලියන්නට සිතුණි. කලබලේ ලියන නිසා සිතුවිලි ගැලපේදෝ මන්දා.
මගේ මතකය නිවැරදි නම් ටී බී ඒකනායක මහතා ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දී ටික දිනකින් ම කළ බරපතල ප්‍රකාශය වූයේ ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉතාමත් ම දූෂිත එකක් බවයි. ඒ ප්‍රකාශය හේතුවෙන් ඒ මහතා දේශපාලන වශයෙන් ඉතාමත් දුර්ධාන්ත ඉරණමකට මුහුණ දුන් අතර ජනාධිපතිතුමාගෙන් ලකුණු කපා ගෙන අද වන විට මුලු ගැන්වී සිටියි.
ඉන් පසු මෙරට ක්‍රීඩා ඇමතිකම දුන්නේ ඉතාමත් ම සුදුසු පුද්ගලයාටය. මහින්දාන්ද යනු මර්වින් සිල්වා වර්ගයේ මෙරට ආණ්ඩුකළ හැම නායකයෙක්ම අගය කරන ආකාරයේ දේශපාන චරිතයකි.
මෙරට හැමදාම ජනපතිලා අගමැතිලා අගය කළේ තමන්ට ඕනැ ආකාරයට අත උස්සන තමුන්ටද ගසා ගෙන ලොක්කන්ට ද කන්න දෙන වැඩි දේවල් නොකරන නොහිතන පිරිසය. මේ අතර ක්‍රිකට් ගැසිය යුත්තේ බිස්නස්කාරයන්ගේ හා දේශපානඥයන්ගේ පුත්තු නම් එය ඉතා අගනේය. සංගක්කාර නීති පීඨයේ උපාධිය අතහැර ක්‍රිකට් ගැසීමට ආ මෝඩයෙකි. ඕනවට වඩා හිතන අය දේශපානයටය වගේම ක්‍ර්කට් වලටද අගුණය. සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.
අද වන විට මෙරට අනෙකුත් ආයතන මෙන්ම ක්‍රිකට් ආයතනයද ඉතාමත් දූෂිත බව නොකිව මනාය. අද වන විට ලංකාවේ පවතින ඉතාමත්ම දුක්ඛිත තත්ත්වය වන්නේ රට තුළ මේ පිළිබද තොරතුරු හෙළි දරව් නොවීමත් ඉතා සූක්ෂම හා තිරිසන් ආකාරයට එම විනිවිදභාවය වළලා තිබීමත්ය. සංගක්කාර ලෝඩ්ස් ගොස් කීවේ මෙරට ඒ සදහා වේදිකාවක් නොවීම නිසායි.
පුද්ගලයෙකු ලෙස සංගක්කාර යනු ක්‍රීඩකයෙකුට එහා ගිය සම්පතකි. ඔහු වැනි උගතෙකු හා බුද්ධිමතෙකු ක්‍රිකට් සදහා ලැබීම අපට පමණක් නොව ලොවටද සම්පතකි. මා දන්නා හා මට හැගෙන තරමින් අර්ජුන දේශපානයට ආවේ ක්‍රිඩා ඇමති විමටය. නමුත් චන්ද්‍රකාවත් මහින්දවත් ඔහුට එය නොදුන්නේ ක්‍රිකට් යනු කන්න හොද තැනක් නිසා ඔහු බලාපොරොත්තුවන දේ කිරීමට දීම බාගෙන ඉහගෙන පෙරළී පෙරළි කන්නට ඇති දේ අහිමි කරගැනීමක් නිසාය.
සංගක්කාර ද්‍රෝහියෙක් නිසා කැළනියෙන් කොලොන්නාවෙන් දෙකෙන්ම දේශප්‍රේමියෝ බත් පැකට් එකට හා අරක්කු බෝතලයට එළියට බසින්නට ඉඩ නැත්තේ නොවේ.
විපරමේ ද දැනටම මේ ගැන කියා තියෙනව වෙන්නට ඇත. එහිදී සංගක්කාරගේ ජාතකය ද ප්‍රශ්න කර රනිල්ගේ පින්තූරයක් සමග දමනු ඇත.
හෘද සාක්ෂිය විකූණු මිනිසුන්ට පමණක් ජීවත් වීමට සුදුසු දේශයේ හෘද සාක්ෂිය අවදි කළ සංගක්කාර අභිමනවත් මෙන්ම තමාගේ දවසේ යුතුකම නොපිරි හෙළා ඉටු කළ පුරවැසියෙකි. ඔබට උපහාරයක් ම වේවා.